Tuesday, May 19, 2020

නක්බා හෙවත් මහා ඛේදවාචකයේ දිනය

පලස්තීනුවන් 72වන නක්බා හෙවත් මහා ඛේදවාචකයේ දිනය සැමරුවා.

මැයි 15 වන දිනට යෙදුන පලස්තීන ජනතාවට සහයෝගීතාව පලකරන නක්බා දිනය හෙවත් මහා ඛේදවාචකයේ දිනය සැමරුවා. 1948 වසරේ ඊශ්‍රායලය නිර්මාණය කිරීමේදී පලස්තීනුවන් 700,000කට ආසන්න සංඛ්‍යාවක් සිය උපන් බිමෙන් නෙරපා හැරීම ‘නක්බා‘ මගින් සිහිපත් කෙරේ. නක්බා දිනයට ඊයේ වසර 72ක් සැපිරිණ. 1948 වසරේදී පලස්තීනය දෙකඩ කර ඊශ්‍රායලය පිහිටුවීමෙන් අනතුරුව පලස්තින ජාතිකයන් ජෝර්දානය, සිරියාව, ඊජිප්තුව ආදි රටවලට පිටුවහල් කරනු ලැබූහ. එම පිරිස් මෙන්ම පලස්තීනුවන් නක්බා දිනය සමරනු ලබයි.


නක්බා දිනයට සමගාමීව බොහො විරෝධතා සංවිධානය කිරීම පසුගිය වසරවල දැකිය හැකි විය. මෙවර කොරෝනා වසංගත තත්වය නිසා ඊශ්‍රයිල හමුදව ගාසා තීරයෙන් ඉවත්ව සිටින නිසා උණුසුම් තත්වයක් පැන නොනැගුණි. මීට දෙවසරකට පෙර නක්බා දිනයේ දී ඊශ්‍රයිලය එල්ල කළ වෙඩ ප්‍රහාරවලින් පලස්තීනුවන් 4500ක් තුවාල ලැබූ අතර 58 දෙනෙකු ජීවිතක්ෂයට පත්විය. එහෙත් මෙවර එවැනි දැවැන්ත විරෝධතා සංවිධානය නොවුණත් මීට දින තුනකට පෙර 22 හැවිරිදි ඊශ්‍රයිල සෙබලෙක්ට එල්ල වූ ගල් ප්‍රහාරය නිසා ඝාතනය විය. ඒ සම්බන්ධයෙන් චෝදනා එල්ල වූයේ ගාසා තීරයේ සරණාගත පලස්තීනුවන්ටය.
 
70 වන නක්බා දිනය නිමිත්තෙන් පලස්තීන-ශ්‍රී ලංකා සහයෝගිතා සංගමයේ සම-සභාපති ඉම්තියාස් බාකිර් මාකර් මහතා මෙලෙස අදහස් දක්වා තිබුණි. “මැයි 15 වන දිනය, ලොව පුරා සලකනු ලබන්නේ පලස්තීන ජනතාව මුහුණ දුන් ඛේදවාචකයේ ආරම්භක දිනය ලෙසයි. ඊට කලින් සිටම, ඒ සදහා වූ ක්‍රියාදාමයන් තිබුණද, ඛේදවාචකයේ නිල ආරම්භය ලෙස මෙදින සැලකෙනවා. මේ දිනය, ලක්ෂ සංඛ්‍යාත පලස්තීනුවන් තම උපන් බිමෙන් පලවා හැරි දිනයයි. ඔවුන්ව, උපන්බිමේ සහ ඉන් පිටත සරණාගතයන් බවට පත් කල දිනයයි. ලක්ෂ සංඛ්‍යාත පලස්තීන ජනතාවගේ ජීවිත, අසාධාරණය ලෙස උදුරාගත් දිනයයි. ඔවුන්ගේ ජීවිත, නීති විරෝධී ලෙසින් විනාශ කළ දිනයයි. ඔවුනට දුක, දොම්නස, වේදනාව සහ, ඔවුන්ගේ ජීවිතයන්හි අඳුරු කාලවකවානුව ආරම්භ කළ දිනයයි. ලක්ෂ සංඛ්‍යාත පලස්තීන සරණාගතයන්ට මෙන්ම, ගාසා තීරයේ මායිම් වල, නිදහස වෙනුවෙන් නැගී සිටින දහස් සංඛ්‍යාත පලස්තීන විමුක්තිකාමීන්ට, පලස්තීන භූමිය, නිකම්ම නිකම් හිස් බිම් කැබැල්ලක් නොවෙයි. ඔවුන්ගේ අරගලය, මෙතෙක් ඒ වෙනුවෙන් දිවිදුන් සහ නූපන් පලස්තීනුවන් වෙනුවෙන් මෙන්ම, ඔවුන්ගේ නාමයෙන් කරන, සාධාරණ නිදහස් අරගලයක්. මේ අරගලය, ඔවුන් වසර හැත්තෑවකට වඩා දරා සිටීමම සැබැවින්ම ප්‍රාතිහාර්යයක්. ලෝක ජනමතයට සහ එක්සත් ජාතීන්ගේ තීරණ තීන්දු වලට එරෙහිව, (VETO) නිෂේධ බලයේ අනුග්‍රහය, පලස්තීන භූමිය නීතිවිරෝධී ලෙස අයත් කරගෙන සිටින ආක්‍රමනිකයන්ට ලැබෙමින් පවතිනවා.”
 
ඊශ්‍රායලය නමැති රට පලස්තීන භූමිය තුළ ස්ථාපිත කරනු ලැබූ 1948 යේය. එහෙත් එය 1800 යේ සැලසුම් කළ සියෝනිස සැලැස්ම විය. ඊශ්‍රායලය පිහිටුවීමට පෙර ලෝකයේ සිටි යුදෙවුවන්ට වෙනම යුදෙවු රටක් තිබුණේ නැත. දෙවැනි ලෝක යුද්ධ කාලයේ හිට්ලර් ලක්ෂ සංඛ්‍යාත යුදෙව්වන් ඝාතනය කළේය. මේ නිසා යුදෙව් ජනයා ගැන විශාල අනුකම්පාවක් ලෝකයේ ජනිත වී තිබුණි. මුස්ලිම් බහුතරයක් සහ යුදෙවු සුලුතරයක් ජීවත් වූ පලස්තීනයේ එක් කොටසක් වෙන් කොට යුදෙව් ජනයා සඳහා ඊශ්‍රායලය නමින් රටක් නිර්මාණය කරන්න කටයුතු යෙදුණේ ඒ අනුව. මේ සඳහා එක්සත් ජනපදය ඇතුලූ ලෝක බලවතුන් සිය පූර්ණ අනුග්‍රහය සපයනු ලැබුවා. පලස්තීන භූමියෙන් 78%ක් ඊශ්‍රායලය අත්කරගෙන සිටින්නේය.
 
ඊශ්‍රායලය ස්ථාපිත කළ පු ඊශ්‍රායලය අඛණ්ඩව අනුගමනය කළේ ඇමරිකා එක්සත් ජනපදයට දැඩි හිතවාදී ප්‍රතිපත්තියක්. මැද පෙරදිග කලාපය තුළ ඊශ්‍රායලය එක්සත් ජනපදයේ සගයා බවට පත්වූ අතර ඇමරිකාව ඔවුන්ට විශාල වශයෙන් යුදමය හා ද්‍රව්‍යමය ආධාර සැපයූවා. මේ ආධාර ලබාගෙන ශක්තිමත් වූ ඊශ්‍රායලය වරින් වර පලස්තීන රාජ්‍යයට පහර දී ඊට අයත් බිම් පෙදෙස් අත්පත් කරගත්තේ. එහි ප්‍රතිඵලයක් ලෙස පලස්තීනය කියන රාජ්‍යය ලෝක සිතියමෙන් අතුරුදහන් විය. පලස්තීන ජනයා තමන් උපන් රටේ අනාථයින් බවට පත්වූහ. ඊශ්‍රායලයේ මේ කොල්ලකාරී අත්පත් කරගැනීමට විරුද්ධව පලස්තීන ජනයා අතරින් විවිධ සටන් සංවිධාන බිහි වුණේ ඉන් අනතුරුවය.
මුල් කාලයේ ඊශ්‍රායල් විරෝධී අරගලයේ පුරෝගාමියා වූයේ යසර් අරෆත්ගේ පලස්තීන විමුක්ති සංවිධානය. මේ සංවිධානය එවකට තිබූ සෝවියට් දේශයේ අනුග්‍රහය ද ලද සංවිධානයක්. සීතල යුද්ධ කාලයේ එක්සත් ජනපදය ඊශ්‍රායලය සිය සගයා බවට පත්කරගනිද්දී පීඩිත පලස්තීන ජනයා සිය සහාය ජාත්‍යන්තරව ලබාගත්තේ සමාජවාදී කඳවුරෙනි. හමාස් යනුවෙන් අලුත් සංවිධානයක් ‘80 දශකයේදී ගොඩනැගුනි. මෙම සංවිධාන දෙක අතර ගැටුම් නිර්මාණය විය. ඒ පිටුපස ඇමරිකාව සිටි බවත් බොහෝ දෙනෙක් චෝදනා කළහ.
අද වෙනකොට පලස්තීනය යැයි හඳුන්වන්නේ බටහිර ඉවුර හා ගාසා තීරය නමැති කුඩා භූමි ප්‍රදේශ දෙකය. මේ ප්‍රදේශ වල සීමිත ස්වයං පාලන අයිතියක් පලස්තීනුවන්ට හිමියි. තවමත් පලස්තීනය නිල වශයෙන් රාජ්‍යයක් ලෙස පිලිගැනෙන්නේ නැත. බටහිර ඉවුර පලස්තීන විමුක්ති සංවිධානයේ අනුප්‍රාප්තිකයා වන ෆටා සංවිධානයත් ගාසා තීරය හමාස් සංවිධානයත් පාලනය කරනු ලබනවා.
 
මෙය හුදෙක් යුදෙවු – පලස්තීන ගැටුමකට එහා ගිය ජාත්‍යන්තර ගැටලූවක් වී තිබේ. මැදපෙරදිග යනු තෙල් සම්පත බහුලව තිබෙන කලාපයයි. ලෝක ආර්ථික බලය සහ තෙල් සම්පත අතර තිබෙන්නේ සමීප සම්බන්ධයක්. අධිරාජ්‍යවාදී රටවල් මේ නිසාම මැදපෙරදිග පාලනය ස්වකීය ආඥා චක්‍රය තුළ පවත්වා ගැනීමට සෑම විටම උත්සාහ කරයි. ඊශ්‍රායලය අධිරාජ්‍යවාදී රටවල් වල උපාය මාර්ගික සගයෙක් වන්නේ මෙතැනදී. මැදපෙරදිග කලාපය තුළ එක්සත් ජනපදය ඇතුලූ රටවල බලය පවත්වා ගෙන යාමට ඊශ්‍රයලය විශාල වශයෙන් උදවු කරයි. මේ නිසා ඊශ්‍රායලය පලස්තීනුවන්ට එරෙහිව කරන සියලූ අපරාධ ගෝලීය බලවතුන් විසින් ආරක්ෂා කරනු ලබනවා.
 
ඊශ්‍රායලය පලස්තීන භූමිය අත්පත් කරගනිද්දී ගෝලීය බලවතුන් නිහඬව සිට ඊට සහයෝගය දැක්වූවා. අදටත් ඊශ්‍රායල් පාලකයින්ගේ උද්දච්ඡු, මිනීමරු භූමිකාවට රැකවරණ සපයන්නේ එක්සත් ජනපදය ඇතුලූ ගෝලීය බලවතුන් ය. ඔවුන් එහෙම කරන්නේ මැදපෙරදිග තෙල් සම්පත සූරා කෑම සඳහා අවශ්‍ය දේශපාලන බලය කලාපය තුළ පවත්වාගෙන යෑමට විශ්වාසවන්ත මූල කඳවුරක් අධිරාජ්‍යවාදීන්ට අවශ්‍ය නිසාය.
 
[සකීෆ් සාම්]NEWSNOW