Saturday, December 19, 2020

යෙල්දා රාත්‍රිය - පර්සියානු සංස්කෘතියේ තවත් පැතිකඩක්

යෙල්දා උත්සවය



මෙවසරත් යෙල්දා රාත්‍රිය යෙදී තිබෙන්නේ සෑම වසරක මෙන් දෙසැම්බර් මාසයේ 21 වැනි දිනටයි. එය සරත් ඍතුව අවසන් වී සීත සමය පටන් ගන්නා දිනයයි. එදින රාත්‍රිය වසරේ දිගම රාත්‍රියයි. ඒවගේම අඳුරුතම රාත්‍රියද එයයි. දිවාකාලය ඉතා කෙටියි. පුරාණ පර්සියානු සංස්කෘතිය තුල මෙම රාත්‍රියත් සමරනු ලබන්නේ උත්සවාකාරයෙන්.

ඉරානය, අසර්බයිජානය, ඇෆ්ගනිස්තානය, තජිකිස්තානය වැනි රටවල මෙන්ම ඉරාකය, සිරියාව සහ තුර්කිය වැනි රටවල වෙසෙන කුර්දි ජන කණ්ඩායම ද මෙම සංස්කෘතික උත්සවය සමරනවා. 


මෙම උත්සවයේ ආරම්භය සහ එහි දර්ශනය පිලිබඳ විවධ අදහස් පළවුනත් පැහැදිලිම කාරනාවක් නම් මෙය සොභා ධර්මය සමග එකටෙක බැඳීමෙන් පවතින බවයි. මෙය පර්සියානු සංස්කෘතිය තුල බොහෝ සෙයින් අපි දකින සුවිශේහී කාරනාවක්.


මෙදින ස්මරණයටම ආවේණික චාරිත්‍ර වාරිත්‍ර බොහොමයක් තිබෙනවා. පවුලේ සැවෝම වැඩිහිටියන් සමග එකතුවීම මෙහි වැදගත් ලක්ෂණයක්. කාර්ය බහුල ජීවිතයක් ගතකරන හැමට පවුල්පිටින් එකතුවී විනෝද වීමට ලැබෙන අවස්තාවක්. එසේ එකතුවෙන පවුලේ සාමාජිකයින් රාත්‍රිය පුරා නිදි වරනවා. ඕමාර් කයියාම්, රූමි, ෆිර්දව්සි, සඅදි වැනි පුරාණ පර්සියානු කාව්‍ය කියවා සංගීතයෙන් ඔපවත් කරවන්නේ එම අඳුරුතම රාත්‍රියට ජීවයක් එකතු කරමින්. හාෆිස් ගේ කාව්‍ය පොතට විශේෂතැනක් ලැබෙනවා.


දෙළුම් ප්‍රමුඛ රක්ත වර්ණ පලතුරු මෙදින වට්ටෝරුවේ මුල්තැන ගන්නවා. දෙළුම් මෙම ඍතුවට අදාළ පළතුරක්. සශ්‍රීක බව සහ ජීවමාන බව ඉන් සංඛේතවත් වෙනවාලු. 


ග්‍රීෂ්ම ඍතුවට ආවේනික පැණිකොමඩු යෙල්දා කෑම මේසයේ අනිවාර්ය කොටසක්. ශීත ඍතුවේ මුල් දවසේ එය අනුභව කිරීමෙන් සෙම්ප්‍රතිශ්‍යාව වැනි සීත කාලයේ ලෙඩවලින් බේරාගැනීමට ශක්තියක් ලැබෙනවාලු. 


එම රටවල බහුලව දකින්නට තියෙන බාදාම්, පිස්තා වැනි විවිධ ඇට වර්ගද නිදිවරා සිටින අය කකා තේ බීම තවත් පුරුද්දක්. 


සොභා ධර්මයේ සුවිශේෂී අවස්තාවක්වූ අඳුරුතම දිගම රාත්‍රිය සහ කෙටිම මෙන්ම එලිය අඩුම දිවා කාලය වටා මිනිස් ජීවිතයට අර්ථයක් සහඑළියක් සොයාගැනීමට පුරාණ පර්සියානු ශිෂ්ටාචාරය තුල පැවති සුන්දර ව්‍යායාමයක් මෙලෙස ජනජීවයට මුසුවී ජීවමානව පවතිනවා.