Wednesday, May 20, 2026

ෂානාමා හරහා පර්සියානු භාෂාව නැවත ජීවමාන කිරීමේ ෆිර්දව්සිගේ උරුමය

 ෂානාමා හරහා පර්සියානු භාෂාව නැවත ජීවමාන කිරීමේ 

 ෆිර්දව්සිගේ උරුමය - 

The Legacy of Ferdowsi Reviving the Persian Language Through the Shahnameh




මැදුරු නටබුන් වනු ඇත 

 හිරුගේ උණුසුමෙන් හා ඇදහැලෙන වැස්සෙන් 

 හිරුගේ ගිනිකාරමෙන් හෝ වැක්කෙරෙන වැස්සෙන් 

 දියවී නොයනු ඇත මා කවියෙන් තැනූ මැදුර 

දශක තුනක මගේ දුක් ගින්නේ උණුසුමෙන් 

මා අවදි කළා පර්සියානුවන් මගේ කාව්‍යයයෙන් 

එබැවින් ම මා සදාතනිකව අමරණීය වෙමි 

ෆාර්සි ජාතියේ බීජ වපුරා ඇති හෙයින් 


පර්සියාවේ ජාතික කවියා ප්‍රකාශ කරනුයේ තමා අමරණීය බවයි. " ෂානාමා" නමින් හැඳින්වෙන  " රජවරුන්ගේ ග්‍රන්ථය" නමින් දන්නා එකම කවි පොතක් ලිවීමෙන් පමණක් ඔහු ඒ තත්ත්වය කරා ළඟා විය.  ෆිර්දව්සි ගේ ඇට මිදුළු කොරෝසාන් ප්‍රාන්තයේ තුස් හි විශ්‍රාම සුවයෙන් පසු වෙද්දි ඔහුගේ කාව්‍යය ලොව සිසාරා පැතිර යන්නේ, සත්‍යය හා හිතෛෂීභාවය වැනි මිනිසෙකු විසින් ඔහුගේ සහෝදර මනුෂ්‍ය වර්ගයා වෙත, මාතෘ භූමිය වෙත, සිය ජනතාවගේ සම්ප්‍රදායන් සහ සංස්කෘතිය වෙත දැක්විය හැකි උත්තරීතර ගුණාංගයන් පිළිබිඹු කරමින් ය.


මුළු ලෝක ඉතිහාසය පුරාම මහා කාව්‍යය සාහිත්‍ය සියලු ආකාරවල විවිධත්වයෙන් බැදී තිබුණ නමුදු, සියලුම වර්ගවල මහා කාව්‍යය අතුරින් " ෂානාමා" මේ වර්ගයන් සියල්ල අභිබවා ඉහළින්ම මතුවී සිටි. බොහෝ මහා කාව්‍යයන් ට පදනම වි ඇත්තේ මිථ්‍යා පුරා වෘත්ත වුව ද ෆිර්දවුසි ගේ ෂානාමා කාව්‍යයේදී පුරාවෘත්ත යොදා ගෙන ඇත්තේ කාව්‍යාලංකාර  සඳහාත්, තව දුරටත් ඉතා සිත් ඇදගන්නා සුළු මෙන්ම සතුට දනවන සුළු වූ පාඨක රුචියක් උපදවනු සදහා ත් පමණි. 


ෂානාමා වරක් පමණක් කියවා සදහටම පසක දමා තැබිය හැකි පොතක් නොවේ. අනුපමේය වූ මේ සහිත්‍යකෘතිය වරින්වර කියවිය යුත්තකි. මෙය කියවන හැම වාරයකදීම පාඨකයෙකුට ඉතිහාසය හා සදාචාරමය වශයෙන් සටහන් කරගත හැකි ආකාරයේ වටිනා කරුණු මතුවෙමින් එයි. ඉරානය වූ කලි කාව්‍යයේ දේශයයි. බොහෝ විශිෂ්ට මිනිසුන්ගේ ජීවිත කතා වලදී මෙන්ම ෆිර්දව්සි ගේ ජීවිතය ගැන ද අති මහත් සම්භාරයක් ලියා ඇතත් ඉන් බොහෝමයක් ම මිථ්‍යා පුරා වෘතාන්ත ද යථාර්ථය හා මිශ්‍ර වී ඇත. සමස්තයක් වශයෙන් ෂානාමා කාව්‍යය සම්පූර්ණයෙන්ම ආරක්ෂා කොට තිබේ. එහි අඩු හෝ වැඩි වශයෙන් කිසිදු සංශෝධනයක් සිදු වී නැත. මේ කාව්‍යයේ දී ෆිර්දව්සි විසින් ඔහු ගැනම බොහෝ දෑ හෙළිකර ඇත්තේය. 


කොරෝසාන් ප්‍රාන්තයේ තුස් නගරය ට ආසන්න බස්ජේ නම් ගම් පියස නිජබිම කොටගෙන ෆිර්දව්සි ක්‍රි. ව 940 දී උපත ලැබීය. ෆිර්දව්සි ගේ පියා ගොවියෙකු වූ අතර ඒ අවදියේදී ගොවිතැන් හි යෙදුණු පන්තිය සුබ විහරණයෙන් හා අභිමානයෙන් ජීවත් වූ ධනයෙන් හා නිදහසින් ද යුතු කොටසක් ලෙස සලකනු ලැබීය. ෆිර්දව්සි විසින් ම කියා ඇති පරිදි,  "ඔව්හු ( ගොවියෝ) නගුලෙන් සීසා, වපුරා ධාන්‍ය කපාගත් කළ ඔවුන් එසේ උපයා සපයා ගත් ආහාර වේල සදහා හිදගත් කල හි කිසිවෙකුට ද යටත් නොවුවාහ " 


ඔහුගේ නියම නාමය අබුල් කාසිම් මන්සූර් වූ නමුත් සැමදෙනා ම ඔහු හැඳින සිටියේ ෆිර්දව්සි නමිනි. හේ සිය තරුණ අවධියේ පොතපත් සාගරයක කිමිදී කැපවී සිටියේ අධ්‍යාපන කටයුතු දර්ශනයෙහි , තර්ක ශාස්ත්‍රයේ හා ඉතිහාසයෙහි පරතෙර ට ගොස් සිටියා දැයි ඔප්පු කරයි. එනමුදු ෆිර්දව්සි අනිකුත් ඉරාන කවීන් අතර ඉස්මතු වී කැපී පෙනෙනුයේ ඔහු සිය ෂානාමා නම් කාව්‍යයේ දී අනෙක් සියලුම සමකාලීන ඉරාන කවීන් පරයා කිවියෙකු ලෙස උදා කරගෙන ඇති ඇති විශිෂ්ට ජග්‍රහණයන් හේතු කොට ගෙනය. 


ෆිර්දව්සි ගේ ඉතා වැදගත් ජයග්‍රහණය වූ කලි පර්සියානු භාෂාව අවදි කළ විප්ලවයයි. ඔහු නිහතමානීව තමා කළ විප්ලවිය ජයග්‍රහණය ගැන දැනුවත්ව සිටියේය. මෙය ඔප්පු කිරීම සදහා ෂානාමා කාව්‍යයේ ඇති සාක්ෂි නම් " දශක තුනක මාගේ දුක් ගින්නේ උණුසුමෙන් මා අවදි කළා පර්සියානුවන් මාගේ කවියෙන්" යන ඔහුගේම කියමනය. මින් අදහස් කරනු ලැබනුයේ ෆිර්දව්සිට පෙර අවධිවල සදහන් කළ යුතු තරම් වටිනා කවීන් නොසිටි බව නොවේ. 


සුල්තාන් ගේ මහ්මුද් ගේ රාජ්‍ය සභාවේ ද ඔහුට අයත් සියලු ආණ්ඩුකරයන්ගේ රාජ්‍ය සභාවල ද, තාන්න මාන්න ලබා සිටියේ ඒ යුගයේ සියලුම මනුෂ්‍යයන් අතර ද අනන්ත අප්‍රමාණ කවීහු සිටියහ. කෙසේ හෝ මේ බොහෝ කවීන් සිය විෂය පථය සීමා කරගෙන තිබුණේ සිය ස්වාමිවරුන් ගුණ කදම්බය වැනීමටත්, මහලු වියේ ඇති අප්‍රමාණ දුක් ගැහැට කියා පෑමටත් ජීවිතයේ  ඇති අනිත්‍ය භාවයන් විස්තර කිරීමට ත් ය. නමුත් ෆිර්දව්සි විසින් නිසැකවම කරන ලද්දේ මහා කාව්‍යය ලිවීමට අමතරව අරාබි හා තුර්කි භාෂාවෙන් ගේ බලපෑම් අභිබවා යමින් පර්සියානු භාෂාවේ ඒකාධිකාරය මත පිහිටා සිය බසට නව ජීවනයකින් පණ පොවාලීමය. ෆිර්දව්සි ද සත්‍යය ලෙසම මෙහිදී අරාබි වචන කිහිපයක් භාවිතා කළ නමුත් ඒ වන විට ඒ වචන පර්සියානු බසට මසින් ලෙයින් බැඳුණු අරාබි වචන වූවා පමණක් නොව ඒ අවධියේ පොදු හා ජනප්‍රිය විශ්වාසය වී තිබුණේ පර්සියානු බසින් පමණක් අරාබි වචන හා යෙදුම් විරහිතව එකද වාක්‍යයක් වත් ලියා ගැනීම උගහට බවයි. 


මේ පොදු ජනප්‍රිය විශ්වාසය සපුරා සාවද්‍ය බව  ෆිර්දව්සි ඔප්පු කළේය.  ෆිර්දව්සි සිය බසේ ජීවයෙන් අරාබි බසේ හෝ තුර්කි බසේ එකදු වචනයක් වත් නොයොදා කවි රැසක් ම රචනා කළේය. ඉස්ලාමීය රාජ්‍යයේ ව්‍යාපෘතිය සමග මුස්ලිම් වරුන්ගේ පාලනය ට යටත් වූ ඉරානයේ ද සෙසු රටවල මෙන් අරාබි බසේ බලපෑමට ස්වභාෂාව නතුවීම සාමාන්‍ය සිදුවීමක් විය. සිරියාව, මිසරය, ඉරාකය, ලෙබනනය, ආදී රටවල් සම්පූර්ණයෙන්ම අරාබි භාෂාව ද එහි අනන්‍යතාවය ද පිළිගත් අතර ඉරාන ජාතීන් ඉස්ලාම් දහම පිළිගත් නමුදු සිය අනන්‍යතාවය ද භාෂාව ද මැනැවින් ආරක්ෂා කර ගත්හ. මෙහි රැඳී ඇති සනාතන සත්‍යය වූ කලි ෆිර්දව්සි විසින්ම ඔසවා තබන ලද පර්සියානු භාෂාවේ කළ විප්ලවීය ජයග්‍රහණයයි.


එපමනක් නොව මේ විශිෂ්ට කවියා විසින් ඉරාන ජනතාව සතු ඉතිහාසයේ කීර්ති කදම්බය ද ඔසවා තබන ලදී. මින් ජනතාවගේ සිත් සතන් ජාත්‍යාලයෙන් වීරත්වයෙන් මත් වූවා පමණක් නොව ඔවුන්ගේ ආත්ම විශ්වාසය ගොඩ නගා ගෙන නැගී සිටීමට ජීවය ලබා දුන්නේය. සැලකිල්ලට භාජනය කළ යුතු තවත් කාරණය නම් ෂා නාමා හි ඇති විෂයෙහි විවිධත්වය සහ කතාවලට පදනම් වූ ව්‍යුහයන්ය. කෙනෙකුට ෂානාමා මුල සිට අගටම එක දිගට කියවිය හැකිය. නැතහොත් ඕනිම තැනකින් අරඹා ඕනිම කොටසක දක්නට ඇති තනි කතාවක් ද කියවීම.අපහසු නොවේ. විෂය පථය.අතින් එක කතාවක ඇති ව්‍යුහය හෝ වස්තුව අනිකකට සමාන වන්නේ නැති තරම් ය. නැතහොත් එවන් සමාන තැන්  ඇත්තේ ඉතා සුළු වශයෙනි. චරිත අතර ප්‍රතිවිරෝධතා, අර්බුද, කතාවල උග්‍ර අවස්ථාවන්, පහන් සංවේගය දනවන අවස්ථා මෙන්ම අවසනයෙහි දෙන විසඳුම් ආදිය බොහෝ විට සමාන නොවේ. 


මෙය විශේෂයෙන් ම සත්‍යය ලෙසම ස්වාභාවික වන්නේ ෆිර්දව්සි ස්වකීය වටිනා නිර්මාණයේ ලා දක්වන කාටත් නොදෙවෙනි නොවන හැකියාවයි. මෙහිදී ඔහු මුලින්ම සත්‍යය පදනම් කරගෙන ඒ මත චරිතය ගොඩ නැගීමට උත්සුක වේ. ඔහුගේ ආශාව කතාව කීම වන අතර එහි නැවුම් බවද රැක ගන්නේ අපූර්ව ආකාරයෙනි. 


" හිංසා නොකරන්න ,

 කුහුඹුවෙකුටවත් 

 බත් ඇටයක් රැගෙන යන ජීවිතය මිහිරිය 

 උන්ට ද 

 අපි වගේම "..



මෙතෙක් ලියා ඇති අති විශිෂ්ඨ කතාවලින් දැකිය හැකි ඉහළම ගණයේ සිත් කළඹවන සුළු කතාව හා කවි ෂා  නාමා හිදී රස විද ගත හැකිය. උදාහරණයක් ලෙස " රොස්තම් හා ෂොරාබ් " නම් වූ කතාවේ භාවාතිශ්‍ය අවස්ථාව අතිශයින්ම මන බඳනා සුළු වේ. ඒ කතාවේ උච්චතම අවස්ථාව මෙයයි. රජු විසින් සියතින්ම පහර හා හදිසියේ මිය යන පුද්ගලයා සිය පුත්‍රයා බැව් හඳුනාගන්නේ  අන්තිම මොහොත වන විටයි. මේ අවස්ථාවේ ඉතාම ඉක්මනින් ම නුෂ්දාරු  නම් සර්වාංග නාශකය ළඟ තබා ගෙන ඇති කොයිකාවුස් නම් අසල රටේ රජු වෙත, දූතයෙකු පිටත් කර එම ඖෂධය ඔහු ඉල්ලා සිටියි. පියා සමග පුතා ද එක් වුවහොත් සිය සිහසුන අනතුරුදායක තත්ත්වයකට ඇද වැටේ යැයි බියවන කොයිකාවුස් , ෂොරාබ් කුමාරයා මිය යන තෙක් ම ඖෂධය යැවීම පමා කරයි. " වෙදා එනකොට ලෙඩා මැරිලා" යනුවෙන් ඉරාන ජාතිකයන් ප්‍රස්ථා පිරුළක් ද ලබා ගත්තේ මේ කථා පුවත තුළිනි. ෂානාමා පිළිබඳ තවත් කැපී පෙනෙන කරුණක් වන්නේ එහි සදාචාරමය හර පද්ධතීන් හෙළි කර තිබීමයි. සමස්ත ග්‍රන්ථය පුරාම ඇති හැම කතාවකම සියලුම අවස්ථාවන් නිර්මාණය කර ඇත්තේ එසේය. 


" බිය නොවේ ද ඔබ දෙවියන් හට 

 ලැජ්ජා නොවන්නෙහි ද 

 පියා අභියස 

 පලිගනු ඇත ඉරණම 

 ඔබගෙන් 

 එනිසාම නොමරනු ඔබේ සොයුරා 

 වන්නට කැමතිද ඔබත් 

 මිනීමරුවෙක් 

 අත්හරිනු මා 

 ඔබ නොදකිනු ඇත මා 

 කිසිදා 

 මරා දැමීමෙන් මා 

 ඔබ දෙදෙනා එකතු වි 

දක්නා ඵලය කුමක්දැයි 

 සිතනු මැන ..


ෂා නාමා හි ඇති අනෙක් විශේෂ ලක්ෂණය නම් එහි ඇති සාහිත්‍යමය අගයයි. ෆිර්දව්සි ගේ ප්‍රධානම පරමාර්ථය වූයේ පර්සියානු භාෂාව සහ එහි ඉතිහාසය පුබුදුවාලීමයි.  ඉරාන ජාතිය අතීතයේ දී කෙබදු තත්ත්වයක සිටිද, ආපසු ඒ තත්ත්වය ලබා ගන්නේ කෙසේද යන්න විස්තර කිරීමේ ක්‍රියාදාමයේ දී සිය නිර්මාණ ශක්තිය යොදා පද්‍ය 60,000 කින් යුත් අලංකාරවත් නිවැරදි ව්‍යාකරණයෙන් හා කාව්‍යය ගුණයෙන් අනූන කවක් නිර්මාණය කළේය. ඉන්පසු ඔහු අගනා කතාකීමේ කලාවක් ගොඩ නගා වැදගත් සදාචාරමය පණිවුඩයක් ජනතාව වෙත රැගෙන ගියේය. 


" මුලදී මිතුරාය, අගදී සතුරා ය. 

 ඉරණමේ සැටි කවදත් එලෙසමය 

 ගරහනු ලොවට, එවිට 

 කාරුණික වෙයි ඔබට 

 පෙම් කළොත් ඔබ ලොවට 

 හිමිවෙයි ඔබට නේක ගැහැට 


 

 අසාගන්න මාගෙන් 

 යස ඔවදනක් 

 පෙම් නොකරනු ලොවට 

 කවදත් 

 පසුතැවිලි නොවේ 

 ඔබ එවිට කවදත් 


ෂා නාමා කාව්‍යය නියම ලෙසින් රස විඳින්නෙකු එය මුල් බසින්ම කියවිය යුතුය. එය වෙනත් බසකට පෙරලූ කල්හි එහි සියලුම රසයන් හෝ අලංකාරයෙන් හෝ කොටසක් සිඳී යනු ඇත. පර්සියානු භාෂාවේ දී ඉතාම අලංකාරමය වූ කාව්‍යයමය යෙදුම්, උදාහරණයක් ලෙස , තවත් භාෂාවකට පෙරලූ විට සමහර වචන ශබ්ද විය හැක්කේ පුනරුක්තියකින් යුක්ත හිස් ප්‍රලාපයක ආකාරයෙනි. ෂා නාමා වේ අවසානය ප්‍රීතිමත් ය යනුවෙන් පර්සියානු භාෂාවේ ප්‍රස්ථා පිරුළක් තිබේ. එය යොදා ගනු ලබන්නේ යම් සිද්ධියක වැදගත් ම කොටස එහි අවසානය යනුවෙන් හැගවීමටය. එහෙත් අවාසනාවකට මෙන් 


ෂා නාමා කාව්‍යකරණයේ අවසානය නම් එතරම් ප්‍රීතිමත් නොවීය. ෂා නාමා කාව්‍යය නිර්මාණය කිරීම සඳහා අව්රුදු 30 ක් ම, සිය වටිනා ජීවිතයේ අඩක්ම ගෙවා දැමූ ෆිර්දව්සි ගේ අවසානය ශෝචනීය එකක් විය. සුල්තාන් මහ්මඩ් රජු  සහ ෆිර්දව්සි අතර සම්මුතියක් තිබුණි. ඒ අනුව " ෂා නාමා" කාව්‍යයේ  සෑම පැදියකටම රන් කාසියක් සුල්තාන් ගෙවීමට  පොරොන්දු විය. එහෙත් පැදි 60,000 ක් සහිත ව ෂා නාමා අවසන් වූ විට , දීය යුතු රන්කාසි වල සංඛ්‍යාව සලකා බලමින් ද, ඊර්ෂ්‍යාවෙන් ද, රාජ සභාවේ ඇතැම්හු එතරම් විශාල මුදලක් නොගෙවීමට සුල්තාන්ව පොලඹවන්නට වූහ. ඒ අනුව සුල්තාන් රන් කාසි වෙනුවෙන් රිදී කාසි 60,000 ක් ෆිර්දව්සි වෙත යැව්වේය. සුල්තාන් පොරොන්දු කඩ කිර්ම ගැන මහත් සේ කළකිරීමට පත් ෆිර්දව්සි දුගී දුප්පතුන් හා කම්කරුවන් අතර එය බෙදා දැමිය. 


පසුව කලක් තිස්සේ හුදෙකලාවේ දිවි ගෙවූ ෆිර්දව්සි සුල්තාන් පිළිබඳ කවට නිබන්ධනයක් ද නිම කළේය. ඉන් මුලින් සුල්තාන් මහ්මුද් කුපිත වූ නමුත් පසුව සියතින් සිදුවූ අසාධාරණය පිළිබඳ අවබෝධ කර ෆිර්දව්සි වෙත රන් කාසි 60,000 ක් ත්‍යාග කරන්න ට තීරණය කළේය. එහෙත් රන්කාසි රැගත් රජ වාසලේ තවලම කුස් නගරය ට පිවිසෙන විට ෆිර්දව්සි ගේ මෘත දේහය එම නගරයේ තවත් දොරටුවකින් භූමදානය සඳහා ගෙන යමින් තිබූ බැව් ජනප්‍රවාදයේ කියැවේ. 




එහෙත් මෙතරම් විශාල නිර්මාණයක් ෆිර්දව්සි නිම කළේ හුදෙක්ම රන් කාසි ලබා ගැනීම සදහා ම නොවන බැව් අපට හොදින් අවබෝධ වේ. තමන් සඳහන් කල සියලු සිද්ධීන් ගැන හොඳ හැටි සොයා බලා පර්යේෂණාත්මකව පර්සියානු භාෂාවේ විශිෂ්ට කාව්‍යය ලෙස " ෂා නාමා" පත් කිරීමට ඔහු ගත් මහන්සිය භෞතිකමය මිනුම්වලට ඉතා ඈතින්  පිහිටා ඇත්තකි. පැදි 60,000 ක් ලිවීමට ඔහු තිස් වසරක් වෙහෙසා ඇත. එනම් ඔහු දවසකට ලියා ඇත්තේ පැදි පහක් පමණි. ෆිර්දව්සි සහ ෂා නාමා පර්සියානු භාෂාව ලොව පවතින තුරු ද, ලෝකයේ සාහිත්‍ය පවතින තුරු ද, සදහටම උසස් ගණයේ කාව්‍යයක් ලෙස පවතිනු නොඅනුමානය.


" අවංක විය  යුතු යැයි පැතීම 

 ලෝකයත් ඉරණමත් ඔබට 

 සොයනා මෙන් ය.. 

 වකුටු නොවූ දුන්නක්



Tuesday, May 5, 2026

ඕමාර් කයියාම් " ජීවිතය, කාලය සහ මනුෂ්‍ය ආත්මය ගැඹුරින් අධ්‍යනය කල පර්සියානු කවියා

 "ඕමාර් කයියාම් " ජීවිතය, කාලය සහ මනුෂ්‍ය ආත්මය ගැඹුරින් අධ්‍යනය කල පර්සියානු  කවියා ”

Omar Khayyam" Persian poet who deeply research about life, time, and the human soul*


කාව්‍යය වසර දහස් ගණනක් පුරා මනුෂ්‍ය සංස්කෘතියේ මධ්‍යස්ථ කොටසක් ලෙස පැවතී ඇත්තේ එය සරල සැරසිලිමය ප්‍රකාශනයක් වූ නිසා නොව, වෙනත් ප්‍රකාශන ආකාර කිහිපයකට පමණක් කළ හැකි දෙයක් එය කරනු ලබන නිසාය. එය මනුෂ්‍ය අත්දැකීම ඉතා සංක්ෂිප්ත, හැඟීම්පූර්ණ සහ අර්ථවත් ආකාරයෙන් අල්ලා ගනී.කාව්‍යය මනුෂ්‍යයාට වැදගත් වන්නේ එය හදවතටත් මනසටත් එකවර කතා කරන බැවිනි. එය අපට හැඟීමට, සිතීමට, එකිනෙකා සමඟ සම්බන්ධ වීමට සහ සාමාන්‍ය භාෂාවට නොහැකි වන ආකාරයෙන් ජීවිතය අවබෝධ කරගැනීමට උපකාරී වේ.එය සාහිත්‍යයක් පමණක් නොව, මනුෂ්‍යත්වය පිළිබඳ ප්‍රතිබිම්බයකි.පර්සියානු සාහිත්‍යය ලෝකයේ අතිශය සම්භාව්‍ය සහ ගැඹුරු සාහිත්‍ය සම්ප්‍රදායන්ගෙන් එකක් වන අතර, එහි කවියන්ගේ විශිෂ්ටත්වය විවිධ මට්ටම්වලින් පැහැදිලි වේ. පර්සියානු කවියන්ගේ කෘති අද දක්වාත් ලෝකය පුරා කියවෙන අතර, එය ඔවුන්ගේ කාව්‍යයේ විශේෂත්වය පෙන්වයි.පර්සියානු කවියන්ගේ ප්‍රධාන විශේෂත්වයක් වන්නේ දර්ශනය සහ කාව්‍යය එකට ගොඩනැගීමයි.


පර්සියානු කාව්‍යය වනාහි ලෝකයේ වඩාත්ම ආධ්‍යාත්මික සහ ගැඹුරු සාහිත්‍ය සම්ප්‍රදායන්ගෙන් එකක් ලෙස සැලකේ.පර්සියානු කාව්‍යයේ ආධ්‍යාත්මික ස්වභාවය විවිධ විචාරකයන් විසින් විවිධ ආකාරවලින් විග්‍රහ කර ඇත. රුමිගේ කාව්‍යය සූෆි ආදර දර්ශනයේ උච්චතම ප්‍රකාශනයක් ලෙස සැලකේ. හෆීස් ගේ කාව්‍යය සංකේතවාදී ආධ්‍යාත්මික භාෂාවකින් සම්පූර්ණය. සාදි සමාජීය හා නීතිමය දර්ශනය ආධ්‍යාත්මික අගයන් සමඟ සම්බන්ධ කරයි.එමෙන්ම ඕමාර් කයියාම්ගේ කාව්‍යය සංශයවාදී සහ දාර්ශනික ආකාරයකින් ආධ්‍යාත්මික සෙවීමක් ඉදිරිපත් කරයි. ඉරානයේ නැගෙනහිර පිහිටි පැරණි සේද මාර්ග නගරයක් වන නිෂාපූර් (Nishapur) මධ්‍යකාලීන යුගයේ දේශපාලනික වශයෙන් වැදගත්, කලාව, ශිල්ප, දර්ශනය සහ වෙළඳාම පිළිබඳ සෞභාග්‍යමත් මධ්‍යස්ථානයක් විය. එහෙත් අදටත් මෙම නගරය සිය කීර්තිය රඳවාගෙන ඇත්තේ එය ඉතිහාසයේ බිහි කළ විද්‍යා හා කලා විශාරද ඕමාර් කයියාම් නිසාය. 

විශාල උද්‍යානයක් තුළ පිහිටි සුදු මර්බල් ස්මාරකයක්, මෙම 11 වන සියවසේ බහුමාන විශාරදයා සිහි කරයි. එහි ඔහුගේ කාව්‍ය ලිඛිතව දක්වා ඇති අතර, රම්බස් (diamond/rhombus) ආකාරයේ රූප රචනා මඟින් අලංකාර කර ඇත. මෙය නගරයේ ප්‍රධාන සංචාරක ආකර්ෂණයන්ගෙන් එකකි. ඔහුගේ සම්පූර්ණ නාමය වූයේ ගියාත් අල්-දීන් අබූල්-ෆත් ඕමාර් ඉබ්න් ඉබ්‍රාහීම් අල්-කය්‍යාම් ය.වර්තමානයේ ඔහු ප්‍රධාන වශයෙන් කවියෙකු ලෙස ප්‍රසිද්ධ වුවද, ගණිතය, ගගන විද්‍යාව සහ දර්ශනය යන ක්ෂේත්‍රවල ද උසස් විද්වත්භාවයක් දැක්වූ බහුමාන බුද්ධිමත් පුද්ගලයෙකි. කවියෙකු ලෙස පමණක් නොව, කයියාම් විද්‍යාත්මක ක්ෂේත්‍රවලද විශාල දායකත්වයක් ලබා දුන්නේය. ඔහු ගණිතය තුළ විශේෂයෙන් cubic equations පිළිබඳ පර්යේෂණ කළ අතර, ඉතා නිවැරදි සූර්ය දිනදර්ශනයක් නිර්මාණය කිරීම සඳහාද දායක විය. මෙය ඔහුගේ විද්‍යාත්මක දක්ෂතාවය සහ තාර්කික චින්තනය පෙන්වයි.


ටෙහෙරානයේ ෂහීද් බෙහෙෂ්ති විශ්වවිද්‍යාලයේ පර්යේෂණ විද්‍යාඥ රෙසා වාහෙදි සඳහන් කරන්නේ, “ඔහුගේ බොහෝ ගගන විද්‍යා අදහස් සෙල්ජුක් අගනුවර වූ ඉස්ෆහාන් නගරයේදී පළමුවෙන් වර්ධනය විය” යනුවෙනි.“ඉස්ෆහාන් නගරයේදී, කයියාම් ගගන විද්‍යාඥයන්ගේ කණ්ඩායමක් නායකත්වය දුන්හ. ඔවුන් ජලාලී දිනදර්ශනය නිර්මාණය කර ග්‍රහලෝක පිළිබඳ වැදගත් නිරීක්ෂණ සිදු කළා. ඒවා ඔහුගේ ‘Astronomical Handbook of Khayyam’ නම් කෘතියේ සඳහන් වේ.”කයියාම්ගේ ජීවිතය පරීක්ෂා කරන විට, ඔහුගේ බහුමාන හැකියාවන් සහ විශාල දායකත්වය පැහැදිලි වේ. ඔහු ජීවත් වූ කාලය පර්සියානු සංස්කෘතිය, විද්‍යාව සහ දර්ශනය විශාල ලෙස වර්ධනය වූ සමයකි. එම පසුබිම තුළ කයියාම් කවියෙන් පමණක් නොව, විද්‍යාත්මක පර්යේෂණ මඟින්ද ලෝකයට දායක විය.


කයියාම්ගේ සාහිත්‍යමය ප්‍රසිද්ධිය මූලික වශයෙන් පදනම් වන්නේ Rubaiyat of Omar Khayyam නම් කාව්‍ය සංග්‍රහය මතය. මෙම චතුර්පද සරල ව්‍යුහයක් සහිත වුවද, ගැඹුරු දර්ශනීය අර්ථයන්ගෙන් පිරී ඇත. ජීවිතයේ අස්ථිරභාවය, පැවැත්මේ අනියතභාවය සහ මරණයේ අනිවාර්යතාව වැනි මූලික මානවීය ගැටලු ඔහුගේ කාව්‍ය තුළින් විමර්ශනය කරයි. ඔහුගේ පද රචනා බොහෝ විට වර්තමානයේ ජීවත් වීමේ වැදගත්කම අවධාරණය කරමින්, ජීවිතයේ කෙටිභාවය සතුටින් පිළිගැනීමට උත්සාහ කරයි.ඔහුගේ කාව්‍යයේ ප්‍රධාන තේමා ලෙස ජීවිතයේ අස්ථිරභාවය, කාලය ගමන් කිරීම සහ ජීවිතයේ අනියතභාවය , වර්තමානයේ ජීවත් වීමේ වැදගත්කම ගම්‍ය කරයි. කයියාම්ගේ පද රචනා බොහෝ විට කියා සිටින්නේ, ජීවිතය කෙටි බැවින් එය සතුටින්  සවිමත් ලෙස අර්ථවත් ව ජීවත් විය යුතු බවයි.


ලියන ඇඟිල්ල නොකඩවා ලියමින් පවති..ලියා අවසන් වූ විටත්,

එය ඉදිරියටම ගමන් කරයි, ඔබගේ සියලු භක්තියටවත්, බුද්ධියවත්

එය නැවත ආපසු කැඳවා අඩක් වාක්‍යයක්වත් මකා දැමීමට නොහැක.

ඔබගේ සියලු කඳුළු ද, එහි එක වචනයක්වත් මකා දැමීමට නොහැක..


භාග්‍යය සහ මනුෂ්‍ය සීමාවන් පිළිබඳ ගැඹුරු දර්ශනීය අදහස් මෙහි ඔහු තාත්වික ලෙස  ඉදිරිපත් කරයි. “Moving Finger” යන රූපකය කාලය හෝ අනිවාර්ය භාග්‍යය සංකේත කරයි. එය නතර කළ නොහැකි බලයක් ලෙස දැක්වෙමින්, සිදු වූ ක්‍රියාවන් නැවත වෙනස් කළ නොහැකි බව පෙන්වයි. මෙහි “Piety” (භක්තිය) සහ “Wit” (බුද්ධිය) යන සංකල්ප මඟින්, ආගමික හෝ බුද්ධිමය උත්සාහයන් කිසිවක් මඟින් අතීතය වෙනස් කළ නොහැකි බව ප්‍රකාශ වේ. කඳුළු මඟින් පසුතැවීම සහ දුක නිරූපණය කරමින්, මනුෂ්‍යයාගේ පසුතැවීමෙන් ද අතීතය මකා දැමිය නොහැකි බව අවධාරණය කරයි. මේ අනුව, කාව්‍යය මනුෂ්‍යයාට පිළිගැනීමේ දර්ශනයක් (philosophy of acceptance) ඉදිරිපත් කරයි


ඔහුගේ කාව්‍යයේ විශේෂ ලක්ෂණයක් වන්නේ දර්ශනීය ගැඹුර සහ සංශයවාදයයි. ඔහු ජීවිතය, ඉරණම, සහ පරලෝකය පිළිබඳ ප්‍රශ්න කරමින්, නිශ්චිත පිළිතුරු නොදෙන අතර පාඨකයාට සිතන්නට අවස්ථාව ලබා දේ . මෙම පදය කයියාම්ගේ දර්ශනීය සිතුවිලි පැහැදිලිව පෙන්වයි. “චලනය වන ඇගිලි” යන්නෙන් කාලය හෝ භාග්‍යය සංකේත වේ. සිදු වූ දේ නැවත වෙනස් කළ නොහැකි බව මෙය අවධාරණය කරයි. එයින් මනුෂ්‍යයාට පෙන්වන්නේ අතීතය පිළිබඳ පිළිගැනීම හා වර්තමානයේ ජීවත් වීමේ වැදගත්කමයි.


කයියාම් ගේ කාව්‍යය සරල කවි පමණක් නොව, දර්ශනීය විමර්ශනයකි. ඔහු ජීවිතය, මරණය, භාග්‍යය සහ පරලෝකය පිළිබඳ ප්‍රශ්න කරයි. මෙය ඔහුගේ යුක්ත කාව්‍යය විශේෂ කරයි, මන්ද එය සිතන්නට.බොහෝ දේ.ඉතිරි කරයි. කයියාම්ගේ කාව්‍යයේ විශේෂ ලක්ෂණයක් වන්නේ එහි සංශයවාදී ස්වභාවයයි. ඔහු පරලෝකය, ඉරණම සහ දේව සත්‍යයන් පිළිබඳ නිශ්චිත අදහස් ප්‍රශ්න කරයි. මෙම දර්ශනය අභිධර්ම දැනුම පිළිබඳ සිතීමට බල කරයි.මනුෂ්‍ය දැනුමේ සීමාවන් හඳුනාගනී. විමර්ශනශීලී චින්තනය ප්‍රවර්ධනය කරයි. එමඟින් කයියාම් ගේ කාව්‍යය මානව චින්තනයට නිදහසක් ලබා දේ. ඔහු පර්සියානු බුද්ධිමය ඉතිහාසයේ සංකීර්ණ හා බහුමාන ස්ථානයක් දරයි. කයියාම්ගේ කාව්‍යයේ ප්‍රධාන ලක්ෂණයක් වන්නේ එහි දර්ශනීය හා විමර්ශනාත්මක ස්වභාවයයි. ඔහු භාග්‍යය, ඉරණම සහ පරලෝකය පිළිබඳ ස්ථිර විශ්වාසයන් ප්‍රශ්න කරයි. නිශ්චිත පිළිතුරු ලබා නොදෙමින්, ජීවිතය අභිරහසක් ලෙස ඉදිරිපත් කරයි.


මෙම විවෘතභාවය නිසා, ඔහුගේ කාව්‍ය විවිධ ආකාරවලින් අර්ථ ගත කිරීමට හැකි වී ඇත. සමහර විචාරකයින් ඔහු සංශයවාදියෙකු ලෙස, තවත් කිහිපදෙනෙක් ආධ්‍යාත්මික කවියෙකු ලෙස, සහ තවත් සමහරුන් ඔහු විස්තරාත්මක (existential) කවියෙකු ලෙස සලකති.කයියාම්ගේ කාව්‍ය ලෝකප්‍රසිද්ධ වීමට ප්‍රධාන හේතුව වූයේ Edward FitzGerald විසින් 1859 දී සිදු කළ ඉංග්‍රීසි පරිවර්තනයයි. FitzGeraldගේ පරිවර්තනය සෘජු නොවූවත්, එය කයියාම්ගේ දර්ශනීය අදහස් බටහිර ලෝකයට හඳුන්වා දීමේ වැදගත් භූමිකාවක් ඉටු කළේය.නවීන ශාස්ත්‍රීය අධ්‍යයනයන් මෙම පරිවර්තනය විවේචනාත්මකව විමර්ශනය කරමින්, “ඉතිහාසික කයියාම්” සහ “FitzGeraldගේ කයියාම්” අතර වෙනස අවධාරණය කරයි. කයියාම් සාහිත්‍යයෙන් පමණක් නොව, විද්‍යාත්මක ක්ෂේත්‍රවලද වැදගත් දායකත්වයක් දැක්වීය. විශේෂයෙන් cubic equations පිළිබඳ ඔහු කළ පර්යේෂණ ගණිතයේ ඉදිරි වර්ධනයට මූලික විය. එසේම, ඉතා නිවැරදි සූර්ය දිනදර්ශනයක් නිර්මාණය කිරීමේ කාර්යයටද ඔහු සහභාගී විය. මෙම කාර්යයන් ඔහුගේ විද්‍යාත්මක ක්‍රමවේදය පරීක්ෂණය, නිරීක්ෂණය සහ තාර්කික විශ්ලේෂණය පෙන්වයි. ඒ අනුව, ඔහුගේ දර්ශනීය සංශයවාදයද විද්‍යාත්මක චින්තනය සමඟ සම්බන්ධ විය හැකි ය.


කයියාම්ගේ කාව්‍යයේ මූලික තේමාවක් වන්නේ ජීවිතයේ අස්ථිරභාවයයි. කාලය සක්‍රීය බලයක් ලෙස සියලු දේ විනාශ කරමින් ගමන් කරයි. මෙය මනුෂ්‍යයාට තමන්ගේ සීමිතත්වය පිළිබඳ ගැඹුරු අවබෝධයක් ලබා දේ.වර්තමානයේ නෛතිකත්වය (Ethics of Presence)කයියාම් වර්තමානයේ ජීවත් වීමේ වැදගත්කම අවධාරණය කරයි. ඔහුගේ කාව්‍යයේ දක්නට ලැබෙන වයින්, උයන, සහ සමාජීය සම්බන්ධතා වැනි රූපක, සෘජු ජීවිත අත්දැකීම් සංකේත කරයි. මෙම “වර්තමාන නෛතිකත්වය” මනුෂ්‍ය ආත්මයට බලපාන්නේ, අනාගතය පිළිබඳ භය සහ අතීතය පිළිබඳ පසුතැවීමෙන් මිදී, වර්තමානය තුළ සන්සුන්ව ජීවත් වීමට උත්සාහ කිරීමට උදව් කිරීමෙනි.Rubaiyat තුළ වයින්, මද්‍යශාලාව, උයන, කප්පරකරු (cupbearer) වැනි සංකේත බහුඅර්ථීය වේ. ඒවා භෞතික, දර්ශනීය හෝ ආධ්‍යාත්මික ලෙස විවිධ ආකාරවලින් අර්ථ ගත කළ හැක.මෙම අර්ථ විවෘතභාවය (hermeneutic openness) පාඨකයාට කෘතිය සමඟ ක්‍රියාකාරීව සම්බන්ධ වීමට ඉඩ සලසයි.


කයියාම්ගේ කාව්‍ය සතුට හා දුක අතර අන්තර්විරෝධී සම්බන්ධතාවයක් දක්වයි. ජීවිතයේ සුන්දරත්වය සහ එහි අස්ථිරභාවය අතර ඇති මෙම සම්බන්ධතාවය මනුෂ්‍ය අත්දැකීමේ සත්‍ය ස්වභාවය පිළිබිඹු කරයි.ඔහුගේ කවි විමර්ශනශීලී චින්තනය ප්‍රවර්ධනය කරයි. සංශයවාදය හා බුද්ධිමය නිදහස උත්සාහ කරයි. ජීවිතය පිළිබඳ ගැඹුරු අවබෝධයක් ලබා දේ. කයියාම්ගේ කාව්‍යයේ ප්‍රධාන ලක්ෂණයක් වන්නේ එහි විශ්වීය තේමා වේ. ජීවිතය, මරණය, කාලය සහ අර්ථ සෙවීම වැනි මානවීය ගැටලු ඔහුගේ කාව්‍යයේ ප්‍රධාන වේ.මෙය ඔහුගේ කාව්‍යය සෑම කාලයකම අදාළ කරයි.කයියාම්ගේ කාව්‍යය සාහිත්‍යයේ සීමාවන් ඉක්මවා දර්ශනය, මානසික විද්‍යාව සහ සංස්කෘතිය සමඟ සම්බන්ධ වේ. ඔහුගේ කෘති මඟින් පාඨකයාට තම ජීවිතය පිළිබඳ සිතන්නට අවස්ථාවක් ලැබේ ඔහුගේ  කාව්‍ය ජීවිතයේ සංකීර්ණතාව සරල කරන්නේ නැත; ඒ වෙනුවට එය එම සංකීර්ණතාවයම පිළිබිඹු කරයි. ඔහුගේ කාව්‍ය පාඨකයාට තමන්ගේම බිය, අපේක්ෂා සහ ප්‍රශ්න සමඟ මුහුණ දීමට අවකාශයක් ලබා දෙයි.ඔහු නිශ්චිත පිළිතුරු නොදෙන අතර, විමර්ශනයට ආරාධනා කරයි. ඒ අනුව, ඔහුගේ කාව්‍ය මනුෂ්‍ය ආත්මය තුළ අවබෝධය, සන්සුන්භාවය සහ ගැඹුරු චින්තනය උත්පාදනය කරමින්, ලෝක සාහිත්‍යයේ දර්ශනීය උරුමයක් ලෙස අද දක්වාත් ජීවමානව පවතී.


ඔහුගේ පදයන් කාලය ඉක්මවා යමින් අද දක්වාත් මනුෂ්‍ය ආත්මය සමඟ සංවාදයක යෙදෙයි. එබැවින්, කයියාම්ගේ කාව්‍යය ලෝක සාහිත්‍යයේ අමරණීය උරුමයක් ලෙස සැලකිය හැක