මිනිස් ජීවිතයේ නියම සංතුශ්ටිය ඇත්තේ කොතැනද?
ජීවිතේ කියන කෙළවරක් නැති මේ දීර්ඝ ගමනේ එක මොහොතක් නතර වෙලා ඔබ ඔබෙන්ම අහල බැලුවොත් දැන් මම ඉන්නෙ සතුටෙන්ද කියල ඔබට ඒකට පිළිතුරක් තියේවි. සමහරවිට ඔබ කියන්න පුලුවන් ඔව් මම ඉන්නෙ සතුටින් කියල සමහරවිට එහෙම නොවෙන්න පුලුවන්. ජීවිතේ අපි කරන හැමදෙයකම වගේ පිටුපසින් තියෙන්නෙ මේ සතුට කියන කාරණාව. අවසානෙ හිතල බැලුවොත් අපි අපේ සතුට වෙනුවෙනුයි බොහෝ දේවල් කරන්නෙ. ඉතින් ඇත්තටම මේ සතුට ලැබෙන්නෙ මොනවගේ දේවල්වලින්ද? ඒ ගැටලුවටත් අපිට තියනව අපේම පිළිතුරක්.
නමුත් පොදුවේ අරගත්තොත් මිනිස් ජීවිතයේ සතුට රඳාපවතින්නෙ මොනවගේ දේවල් මත ද? මේ පිලිබඳව ඉතා දීර්ඝකාලීනව සොයා බලන එක් පර්‍යේෂණයක් මේ මොහොතේත් ක්‍රියාත්මක බව ඔබ නොදන්නව ඇති. සමහරවිට ඉතිහාසයෙ එදාමෙදාතුර වැඩිම කාලයක් ගතකරමින් සිදුකරන හැදෑරීම මෙය වෙන්න පුලුවන්. ඇමරිකාවේ හාවඩ් සරසවිය විසින් 1938 වර්ෂයේ පටන් මේ වනතුරුම සිදුකරමින් යන මේ පර්‍යේෂණය නම් වෙන්නෙ Havard study of Adult development නමින්. මෙහි අරමුණ ක්‍රමයෙන් වසස්ගතවීම සමඟ ජිවිතයෙ සතුට සහ සාර්ථකත්ව පවත්වාගැනීමට බලපාන හේතු සාධක මොනවාද කියන කාරණය සොයාබැලීම.
කාලයත් සමඟ හාවඩ් පර්‍යේෂණ කණ්ඩායමත් නිතර වෙනස්වීමට ලක්වුණා. සමහරු කණ්ඩායමෙන් ඉවත්වුණා, සමහරු අළුතෙන් එක්වුණා. බොහෝමයක් මෙවැනි පර්‍යේෂණ වැඩිකල් පැවතුනේ නැහැ. අරමුදල් ප්‍රමාණවත් නොවීම, කණ්ඩායම තුළම තිබෙන නොයෙකුත් මතභේද වැනි හේතු නිසා ඒවා අතරමඟ නැවතුණා. නමුත්, මොන හේතුවක් නිසා හෝ හාවඩ් සරසවිය 1938 ආරම්භ කල මේ පර්‍යේෂණය තවමන් අඛණ්ඩව සිදුවෙමින් පවතිනව.
2015 දි මේ ව්‍යාපෘතියෙ හතරවෙනි අධ්‍යක්ෂවරයා විදිහට කටයුතු කරමින් සිටින Robert Waldinger සුප්‍රසිද්ධ Ted talks වැඩසටහනකදි මේ අති දීර්ඝ අධ්‍යනය අතරතුර, ජීවිතයේ සතුට පිළිබඳව සොයාගත් හරි අපූරු කාරණා කීපයක් අනාවරණය කරනව. නමුත් හාවඩ් සරසවිය මෙහෙයවූ මේ පර්‍යේෂණයෙ ආරම්භය සිදුවෙන්නෙ තරමක් වෙනස් තැනකින්.
1930 දශකයෙදි ඇමරිකාව ප්‍රමුඛව ලෝකය පුරා රටවල සුවිශාල ආර්ථික කඩාවැටීමක් සිදුවුණා. මේ සිදුවීම the great depression නමිනුත් හඳුන්වනව. මෙය තමා 20 වන සියවසේ සිද්දවුණු දරුණුතම ආර්ථික අවපාතය. මිලියන ගණනක් ඇමරිකානුවන් විරැකියාවෙන් පෙලුනා. බැංකු තවදුරටත් පවත්වාගත නොහැකිව වසා දැමුණා. මේ පීඩනයෙන් මිනිස් ජීවිතයට ශාරීරිකව සහ මානසිකව දිගුකාලීනවශයෙන් ඇති විය හැකි බලපෑම් පිළිබඳව අධ්‍යයනය කිරීමේ අරමුණෙනුයි හාවඩ් සරසවියෙන් පර්‍යේෂණය ආරම්භ කරන්නෙ. දෙවන වසරේ හාවඩ් උපාධි අපේක්ෂකයන් 268කගේ සහ බොස්ටන් නගරයෙන් තෝරාගත් අඩුආදායම්ලාභී පවුල්වල පිරිමි ලමුන් 456ක පිරිසක් මුලින්ම පර්‍යේෂණයට තෝරාගන්නෙ. (මේ අය අතරින් තවම ජීවතුන් අතර ඉන්නෙ 19 ක් පමණයි. ඔවුන්ගේ දරුවන් සහ පසු පරම්පරාව දැන් පර්‍යේෂණයට ලක්වෙනව) ප්‍රශ්ණාවලි, නිවසටම ගොස් සිදුකරන සම්මුඛ සාකච්ඡා, වෛද්‍ය පරීක්ෂණ, මොළයේ සිදුවන ස්කෑන් පරීක්ෂණ වැනි ක්‍රමවලින් ඔවුන්ව අධ්‍යනයට ලක්වුණා.
පසුව පර්‍යේෂකයින් වඩා පුළුල් අරමුණක් වෙනුවෙන් තමන්ගේ අධ්‍යයනය මෙහෙයවන්න තීරණය කරනව. ඒ අනුව 1300 ක පිරිසක් යොදාගනිමින්, වයසින් වැඩිවර්ධනය වීම සමග ඔවුන්ගේ ජීවිත පැවැත්ම වෙනස්වීම්වලට ලක්වෙන ආකාරය ක්‍රමානුකූලව අධ්‍යනය කරන්න පටන් ගන්නව.
තෝරාගත් පිරිස අතරින් සමහරු කාලයත් සමඟ සමාජ ස්ථරයේ ඉහළටම ගමන් කරන්න සමත්වුණා. සමහරු ඊට ප්‍රතිවිරුද්ධව ඉහළසිට පහළට ඇදවැටුණා. සමහරු කම්කරුවන් විදිහට වෘත්තියේ යෙදුණ. සමහරු බොහොම සාර්ථක ව්‍යාපාරිකයින් බවට පත්වුණා. වෛද්‍යවරු, නීතිඥයන් වගෙ වෘත්තින්වලින් ඉහළම තත්ත්වයන්ට ලඟාවුණා. ඒ අතරෙ තව සමහරු මානසික රෝගින් බවටත්, මත්පැනට ඇබ්බැහි වූවන් බවටත් පත්වුණා. ජීවිතේ මුල්භාගයේදි සිහිනයෙන්වත් නොසිතූව තත්ත්වයන්ට වයස්ගත වීමත් සමග බොහෝ අය පත්වුණා. මේ පිරිස අතර පසුකාලීනව ඇමරිකානු ජනාධිපතිවරයෙක් බවට පත්වන ජෝන් එෆ් කෙනෙඩි, වොෂින්ටන් පෝස්ට් පුවත්පතේ ප්‍රධාන කතෲ ධුරයට පත්වන බෙන් බ්‍රැන්ඩ්ලි පවා සිටිය බව කියවෙනව. කොහොම වුණත් අධ්‍යනයට ලක්වෙන මේ කණ්ඩායමේ ශාරීරික මානසික සෞඛ්‍ය වගේම වෘත්තිය, විවාහ ජීවිතය ඇතුලෙ ඔවුන් ලබන සාර්ථක අසාර්ථකභාවයන් මේ හැම දෙයම හැදෑරීමට ලක්වෙනව.
මේ තරම් දීර්ඝ කාලයක් වෙහෙසිල, පිටුදහස් ගණන් දිග වාර්තා ලියල පර්‍යේෂකයන්ට ලැබුණු ප්‍රතිඵලය මොකක්ද? සරලව ගත්තොත් ඔවුන් විසින් සොයාගනු ලැබුවෙ මෙවැනි කාරණාවක්. මුදල් හෝ ජනප්‍රියත්වය ජීවිතය අවශ්‍ය නමුත් ඒවා වැඩිපුර ලැබීම මත ජීවිතයේ සතුට රඳානොපවතින බවයි ඔවුන් සොයාගන්නෙ. නමුත් සියලු දේටම වඩා ජීවිතයේ සතුට වෙනුවෙන් ඉතාම වැඩි බලපෑමක් කරන්න සමත්වෙන්නෙ යහපත් මිනිස් සබඳතා පවත්වාගැනීමයි. සමාජ තත්ත්වය හෝ දැනුමට වඩා කෙනෙකුට මිනිස් සබඳතාවන්, ජීවිතයේ යහපැවැත්ම වෙනුවෙන් අවශ්‍යවෙනවා. අවුරුදු 50 දි කෙනෙකු තමන්ගේ පවුල මිතුරන් ඇසුරේ කොයිතරම් තෘප්තිමත් වෙනවාද කියන කාරණය රුධිරගත කොලිස්ටරෝල් ප්‍රමාණයට වඩා ඔහුගේ සෞඛ්‍ය වෙනුවෙන් බලපෑමක් ඇතිකරනව.
නමුත් මෙයින් අදහස්වෙන්නෙ නෑ මිතුරන් විශාල ප්‍රමාණයක් කෙනෙකුට අවශ්‍ය බව. නමුත් හදවතට සමීප, ව්‍යාජත්වයෙන් තොරව ජීවිතය බෙදාගතහැකි සැබෑ ඇසුරක් ජීවිතයට අවශ්‍යයි. මිතුරන් ප්‍රමාණයට වඩා ගුණාත්මක භාවයයි වැදගත් වෙන්නෙ.
"හොඳ සම්බන්ධතාවක් කෙනෙකුගේ ශරීරයත් මනසත් දෙකම අරක්ෂාකර දෙනව." Robert Waldinger, Ted talks වැඩසටහනෙදි කියාසිටිය. "දෙදෙනෙක් අතරෙ හොඳ සම්බන්ධයක් නිතරම සුදුමුදුව පවතින්නෙ නෑ. සමහර යුවළක් කතානොකර දවස් ගණනක් ගතකරනව. නමුත් ඒ අය තේරුම් ගන්නව එකිනෙකාට ඔවුන් නැතුව බැරි බව. ඒ නිසා අර පොඩි සිත් රිදවීම් ඒ අය මතකයේ තබාගන්නෙ නෑ"
ඒ වගේම මෙහි අනෙක් අන්තය, එනම් පමණට වඩා මිනිස් සම්න්ධතාවලින් ඈත්ව හුදෙකලාවීම මනසටත් ශරීරයට අයහපත් බලපෑම් ඇතිකරන බවත් ඔවුන් සොයාගත්ත. ඒවගේම අසතුටුදායක විවාහයන් ගත කරන්නන් මානසිකවත් ශාරීරික සෞඛ්‍ය අතිනුත් බිඳවැටීම්වලට ලක් වුනා.
වර්ෂ 1938 සිට 1954 දක්වා මෙහි අධ්‍යක්ෂ තනතුර දැරූ Clark Heath යටතේ මුලින්ම ඔවුන්ගෙ වැඩි අවධානයක් යොමුවුණේ පුද්ගලයන්ගේ ශාරීරික යහපැවැත්ම පිලිබඳව. 1972 සිට 2004 දක්වා පර්‍යේෂණය මෙහෙයවූ George Vaillant ගේ කාලය තුළදි සම්බන්ධතා ජීවිතේට කොයිතරම් වැදගත් ද යන කාරණය මුල්වරට හඳුනාගැනුණා. “Aging Well" නමින් Vaillant රචනාකල ග්‍රන්ථයේදි යහපත් ජීවිත පැවැත්මක් උරුමකරදෙන ප්‍රධාන කාරණා කීපයක් ඔහු දක්වා තිබුණා. ශාරීරික ක්‍රියාකාරකම්, ඇල්කොහොල් සහ දුම්වැටි පරිභෝජනයෙන් ඈත්වීම, ජීවිතයේ ජයග්‍රහණයන් සේම පරාජයන් සමසිතින් දරාගත හැකි මානසිකත්වය, ප්‍රීතිමත් විවාහ ජීවිතයක් ගතකිරීම ඔහු නම් කර තිබුණා.
වර්තමානයෙ පරීක්ෂණය මෙහෙයවන Robert Waldinger ඔහු ඉදිරිපත් කල Ted talks වැඩසටහනේදි තවත් හෙළිදරව්වක් කලා. ඇමරිකානුවන් තමන්ගේ ජීවිතය තුළ මූලිකවම අරමුණු කරගන්නෙ මොන ආකාර දේවල්ද යන්න සොයාබැලීමට කල එක් සමීක්ෂණයකින් හෙළි වී තිබෙන්නෙ 80% ට වැඩි පිරිසක් තමන්ගෙ ජීවිතයේ අරමුණ විදිහට තෝරාගන්නෙ විශාල ධනයක් උපයාගැනීම බව. තවත් 50% වැඩි පිරිසකට උවමනා වී තිබුණෙ ජනප්‍රියත්වය ලබාගැනීමට. නමුත් වසර 75 ක පමණ කාලයක් තුළ නැවත නැවතත් තමන් ඔප්පු කරගනිමින් ඉන්නා කාරණය නම් සතුටින්ම ජීවිතය ගතකරන මිනිසුන් යනු පවුල තුළ හෝ මිතුරන් නැත්නම් සමාජය සමඟ හොඳ සම්බන්ධතා පවත්වාගත් අය බව Waldinger කියා සිටියා.
"මේ සම්බන්ධකම් කියන දේවල් ඉතාම සංකීර්ණයි බොහෝ වෙලාවට ඒව හරි ව්‍යාකූලයි. ඔබට සිදුවෙනම් යම් වෙහෙසක් ඒ වෙනුවෙන් දරන්න. නමුත් ඒව දිගුකාලීනයි" Waldinger පැහැදිලි කරනව"නමුත් යහපත් ජීවිතයක් නම් ගොඩනැගෙන්නේ යහපත් සම්බන්ධතා ඇසුරේ පමණයි" ඔහු තමන්ගේ කතාව අවසන් කරන්නේ ඒ ආකාරයට.
මිනිස්සු විදිහට එකිනෙකා නැතිව අපිට පවතින්න කොහොමත් හැකියාවක් නෑ. ඈත පරිණාමික යුගවල පටන් මිනිසා ගැඩගැහුණේ සමාජීය පැවැත්මක් වෙනුවෙන්. සමහරු මේ වගේ බැඳීම්වලට මැදිවෙලා ජීවතය ගතකරන්න කැමැත්තක් දැක්වුවත් සමහරු එහෙම නෑ. ප්‍රමාණයට වඩා ගුණාත්මක භාවය වැදගත් බවනෙ පර්‍යේෂකයින් පවා සොයාගෙන තිබුණෙ. ඒ ගුණාංග අත්දැකීම් එක්ක වැඩිදියුණු කරගත යුතු බව නම් ඇත්ත. බැඳීම් ඇතුලෙ අපි ගොඩක් අපිවම පීඩාවට පත්කරගන්නෙ අනෙක් පාර්ශ්වයන්ගෙන් අපිට නොලැබුණු දේවල් ගැන හිතමින්. නමුත් ඔබ ඔබේ පැත්තෙන් කල්පනා කලොත් මම කොහොමද තවකෙනෙකුට සැබෑ මිත්‍රයෙක් වෙන්නෙ. ආදරය ලබනවට වඩා මම කොහොමද ආදරය දෙන්නෙ කියන දෙය ගැන අවධානය යොමු කරනවනම් මම හිතනව අර පීඩනයෙන් සෑහෙන දුරට මිදෙන්න ඔබට පුලුවන් වේවි. සතුට ඔබේ ජීවිතේට සමීප වේවි. මේ ගැන ඕෂෝ කියා තිබුණ හරි අපූරු උපමා කතාවකින් මේ සටහන අවසන් කරන්නම්.
"ආදරණීය ඕෂෝ, මට හර්මන් හෙස්ගේ කතාන්තරයක් මතකයට නැගෙනවා. ගැහැණියක් ගර්භණීව සිටියදී ප්‍රඥාවන්ත මහලු මිනිසෙක් ඇයගේ දරුවා සම්බන්ධයෙන් එක ප්‍රාර්ථනාවක් කිරීම පිණිස වරම් දෙන බව ඇයට දන්වා සිටියා. ඇයගේ ප්‍රාර්ථනය වූයේ ඇයගේ දරුවා සියල්ලන්ගෙම ආදරයට පත්විය යුතු යන්නයි. එම ප්‍රාර්ථනය සපුරාලනු ලැබුවා. පිරිමි ලමයා නරක වුණත් ඔහු කාගේත් ආදරයට භාජනය වුණා. ඔහුට අවශ්‍ය සෑම දෙයක්ම ඔහු අවට ඕනෑම තරම් තිබුණා, ඔහු තරුණ මිනිසෙකුව වැඩෙන සමය වන විට, නමුත් ඔහුට මහත් නොසතුටෙන් කලකිරීමට පත්ව සිට ජීවිතය තොර කරගන්නට අවශ්‍ය වුණා. කොහොම නමුත් යලිත් වරක් පෙනී සිටි ප්‍රඥාවන්ත මහල්ලා ඔහුට එක ප්‍රාර්ථනයක් කිරීම සඳහා එක වරයක් ලබා දුන්නා. තරුණ මිනිසාගේ ප්‍රාර්ථනය වුණේ අන් හැමෝම ඔහුට ආදරය කරනවා වෙනුවට ඔහු සියලු දෙනාටම ආදරය කල හැකි විය යුතුය යන්නයි.
ඔහුගේ ප්‍රාර්ථනය සපුරාලනු ලැබුවා. ඔහුගේ ලස්සන මුහුණ වියපත්ව අප්‍රසන්න පෙනුමක් සහිතවීමත් සමගම මුලු නගරයම ඔහුට විරුද්ධව අහක බලාගත්තා. ඔහු වෙතට ගල් මුල් ප්‍රහාර එල්ල වූ අතර ඇඳුම් පැලඳුම් කෑම බීම සොයාගැනීමත් ඔහුට අපහසු වුණා. නමුත් ඔහු ආදරයෙන් උතුරා යමින් සිටියා. ජීවිතයේ සියලුම කුඩා දෙයක් පවා ආදර සම්බන්ධතාවයක් බවට පත්ව තිබුණා. ඔහු වන්දනා ගමනක යෙදෙන්න තීරණය කලා. එක් ශීත රැයකදී ඔහුට එම ප්‍රඥාවන්ත මහල්ලා මුහුණට මුහුණලා හමුවූ අවස්ථාවේ දී හේ තරුණ මිනිසාව අතිවිශාල ආදරයකින් පිලිගත්තා. වන්දනා කරුවා මහා ප්‍රාඥයා වෙතට විවේකයට පත්ව නැවතත් අහිංසක දරුවෙකු බවට පත්වුණා"