Sunday, March 13, 2022

 ආධ්‍යාත්මික සබදතාවයේ 
නිරාමිස සතුට


කායික සහ මානසික මානසික මානයන් ඉක්මවා ගිය "ගැඹුරු ආදරයක්" දෙන කෙනෙකු (soul mate) තමන්ට අවශ්‍යයි කියා හිතන බොහෝ මිනිසුන් හමු වී තිබෙනවා. 

ඒ කියන්නේ soul mate යනුවෙන් මිනිසුන් හිතන්නේ සාමාන්‍යයෙන් තිබෙන සම්බන්ධයකට වඩා ගැඹුරට ගිය දෙයක් - උසස් දෙයක්. සාමාන්‍ය ආදරය කියන්නේ සාමාන්‍ය පෙළ විභාගය සමත් වෙනවා වගේ එකක් නම් soul mate කෙනෙකු මුණගැසීම උසස් පෙළ විභාගය පාස් වෙනවා වගේ දෙයක් කියලා මිනිසුන් හිතාගෙන ඉන්නවා. 

ඇත්තට ම එය එහෙම වෙන්න පුළුවන් දෙයක් ද? මිනිස් සම්බන්ධතාවල සාමාන්‍ය සහ අසාමාන්‍යබව අතර සීමාව අඳින්නේ කොතැනින්ද? 

කායික හෝ මානසික අවශ්‍යතා සම්පූර්ණ කරගැනීම වෙනුවෙන් ගොඩනැගුණු සම්බන්ධතා 'සාමාන්‍ය සම්බන්ධතා' විදියටත්, ඊට වඩා ගැඹුරට යනවා යැයි කියා හිතෙන සම්බන්ධතා 'අසාමාන්‍ය' සම්බන්ධතා විදියටත් මිනිසුන් පොදුවේ වර්ග කරගෙන ඉන්න බව හිතන්න පුළුවන්... 

එහෙත්  ප්‍රශ්නය සම්බන්ධතා කියන දෙය ඇත්තට ම කායික සහ මානසික අවශ්‍යතා සපුරාගැනීම කියන තැනට වඩා ගැඹුරට යනවාද කියන එකයි - එය ඉතා ම අවංකව (objectively) සිතා බැලිය යුතු දෙයක්. 

කායික සහ මානසික අවශ්‍යතා සපුරාගැනීමෙන් ඔබ්බට ගිය ගැඹුරු සම්බන්ධයක් තමන්ට තියෙනවා යැයි සිතාගැනීමත්, ඒ පිළිබඳ සතුටු වීමත් මිනිසුන්ට තියෙන තවත් එක මානසික අවශ්‍යතාවක් ම පමණයි. 



එහෙම හිතාගැනීමේ ම තියෙන්නේ තමන් පිළිබඳ තෘප්තිමත් වන්නට උත්සාහ කිරීමක්. 

සාමාන්‍යයෙන් මිනිසුන්ට නොතිබෙන විදිහේ සම්බන්ධතාවක් තමන්ට තිබෙනවා යැයි සිතෙනකොට තමන් පිළිබඳ විශේෂ හැඟීමක් දැනෙනවා. තමන් පිළිබඳ දැනෙන මේ විශේෂ හැඟීමට සියලු ම මිනිසුන් ආසයි. 

මේ මානසික අවශ්‍යතාව ඉටු කරගැනීමට මිනිසුන් තමන් ගේ ජීවිතයේ සිටින කිසියම් සමීපතම කෙනෙකු භාවිතා කරනවා. Soul mate කියලා නමක් හදලා ඒ පුද්ගලයා මත ආරෝපණය කරනවා. ඒ පුද්ගලයා ගේ හිස මත අප ම හැදූ කොස් කොළ ඔටුන්නක් පළඳවනවා. 

කායික සහ මානසික අවශ්‍යතා සම්පූර්ණ කිරීම කියන මාන දෙක ඉක්මවා ගිය තැන කිසිම සම්බන්ධතාවක් ජීවිතයේ පවතින්නට විදියක් නැහැ. ඒ අර්ථයෙන් බැලුවොත් කිසිම සම්බන්ධතාවක් අසාමාන්‍ය විදියට ගැඹුරු නැහැ. කිසිම සම්බන්ධතාවක් තවත් සම්බන්ධතාවකට වඩා විශේෂ නැහැ. 

කායික සහ මානසික අවශ්‍යතා සපුරාගැනීම කියන මානයන් දෙක ම ඉක්මවා ජීවිතයේ පතුළට කිඳා බසින විට පවතින්නේ සුන්දර හුදෙකලාවක් පමණයි. 

විඳීම සහ විඳවීම යන දෙකෙන් ම මිදුණු නිදහස් බවක් පමණයි. 

මේ සුන්දර හුදෙකලාව සහ නිදහස් බව තමන් ආදරය කරන කිසිම කෙනෙකු සමග බෙදාගන්න බැහැ. ඒ වගේ ම තමන්ට කොයිතරම් ආදරය කරන කෙනෙකුට වුණත් මේ සුන්දර හුදෙකලාව සහ නිදහස් බව ස්පර්ශ කරන්න බැහැ - එතැනට කිට්ටු වෙන්න බැහැ. 

ජීවිතයේ මතුපිට කොතරම් සම්බන්ධතා තිබුණත් ජීවිතය ගර්භයෙහි තියෙන මේ සුන්දර හුදෙකලාව සහ නිදහස මිනිසෙකු අත්විඳිය යුතුයි. 


සිය ජීවිතය තුළ මනුෂ්‍යයෙකුට යන්න පුළුවන් මාවත් දෙකක් තියෙනවා. 

එකක් තමයි සම්බන්ධතාවලින් කායික හා මානසික අවශ්‍යතා සපුරාගන්නවාට වඩා ගැඹුරු දෙයක් සිදුවේ යැයි සිතමින්, ඒ ගැන තමන් ගේ ඔළුව ඇතුළේ ම කතන්දර ගොතමින්, ඒ කතන්දරවල ජීවත් වෙමින් බොරු ගොඩක පිනුම් ගසමින් ජීවත් වීම.

සම්බන්ධතා හුදෙක් සම්බන්ධතා විදියට දකින ගමන්, අවශ්‍ය නම් ඒවා පවත්වාගන්න ගමන්, සම්බන්ධතාවලට ස්පර්ශ නොකළ හැකි ජීවිතයේ මානය සොයා යාම.

මුලින් කියූ මාවතේ අති බහුතරයක් දෙනා යන නිසා ඒ මාවතේ ට්‍රැෆික් අධිකයි - ගමන වෙහෙසයි.

දෙවැනියට කියූ මාවතේ වැඩි දෙනෙකු යන්නේ නැති නිසා ඒ මාවත හුඟක් වෙලාවට හිස් - ගමන් වෙහෙසක් නැහැ. 

යා යුතු මාවත කුමක්දැයි තෝරාගැනීම ගමන යන්නාට අයිති දෙයක්. 

ශිෆානි zසමා
බලන්ගොඩ

No comments:

Post a Comment