Wednesday, April 15, 2020



CORONAVIRUS : Sanctions And Suffering
by Dr Chandra Muzaffar

"ලෝකයේ බොහෝ රටවල් මෙන් දැන් අමෙරිකාවත් කොරෝනා වයිරසයේ බලපෑමට ගොදුරු වී තිබෙනවා. එම නිසා ඇමෙරිකාව ස්වාධීන රටවල් කෙරෙහි පනවා තිබෙන ආර්ථික සම්බාධක ඉවත් කිරීමට කටයුතු කරන්න පුළුවන් බව සමහරු හිතන්න පුළුවන්"

කොරෝනා  වසංගතය
සහ අ‍ාර්ථික සම්බාධකය  

-ආචාර්ය චන්ද්‍රා මුසෆ්ෆර් විසිනි-

මුළු මහත් මිනිස් සංහතියම අද මහා ඛේදවාචයකට මුහුණ  සිටිනවා. මේ කරදර අස්සේ ද ඇතැම් රටවලට විරුද්ධව ආර්ථික සම්බාධක පැනවීමටත් තවත් සමහර රටවල ආණ්ඩු වෙනස් කිරීමටත් අමෙරිකානු අධිරාජ්‍යවාදය යුහුසුළුව කටයුතු කරමින් සිටිනවා. පසුගිය දශක ගණනාවක් තිස්සේ  ඇමරිකාව මෙම න්‍යාය පත්‍රය ක්‍රියාවට නැංවීම සඳහා ප්‍රබල වෑයමක් කරනු අපි දකිනවා.

එම ආර්ථික සම්බාධකවල අනිසි ප්‍රතිපලයක් හැටියට මිනිස් ජීවිතය අවුල් වී දුකත් දොම්නසත් සමහර විට මරණයත් ඇති කරනවා. ලෝකයේ බොහෝ රටවල් මෙන් දැන් අමෙරිකාවත් කොරෝනා වයිරසයේ බලපෑමට ගොදුරු වී තිබෙනවා. එම නිසා  ස්වාධීන හා  ස්වෛරී රටවල් කෙරෙහි ඇමෙරිකාව පනවා තිබෙන ආර්ථික සම්බාධක ඉවත් කිරීමට කටයුතු කරන්න පුළුවන් බව සමහරු හිතන්න පුළුවන්.

ඇමරිකානු ආර්ථික සම්බාධක නිසා කරදරයට පත්වී තිබෙන රටවල් තුනක වත්මන් තත්ත්වය ගැන මගේ අවධානය යොමු කිරීමට බලාපොරොත්තු වෙනවා. කොරෝනා වයිරසය නිසා මතුව ඇති අර්බුදකාරී තත්ත්වය හේතුවෙන් අභියෝග සහ ගැටළු රාශියකට මෙම රටවල් මුහුණ දෙමින් සිටින පසුබිමක අධිරාජ්‍යවාදීන්ගේ විනාශකාරී පිළිවෙත් ගැන ටිකක් සොයා බලමු.

බරපතලම සම්බාධකවලින් පීඩා විඳින රටවල් අටරින් මුල් තැන ගන්නේ ඉරාන ඉස්ලාමීය ජනරජයයි. මෙය 1980 වසරේ පටන් ගෙන මේවන විට දෘඩතම සම්බාධක බවට පත්වී තිබෙනවා. ඉරානයේ 1979 සිදුවූ ඉස්ලාමීය විප්ලවයෙන් අනතුරුව ඉරානයේ පිහිටුවන ලද ඉස්ලාමීය පාලනය ඇමෙරිකානු අණසකවලට යටහත් වීම ප්‍රතික්ෂේප කළා. එමෙන්ම, පලස්තීනය සම්බන්ධයෙන් දැඩි ස්ථාවරයක පිහිටමින් එහි සම්පූර්ණ නිදහස වෙනුවෙන් ක්‍රියාකාරීව කටයුතු කරන්නට ද වීම ආදී හේතු නිසා ඇමෙරිකානු අධිරාජ්‍යයේ ඉලක්කයක් බවට පත්වූ හැටි මම විස්තර කිරීමට අවශ්‍ය නෑ. 

කොරනා වෛරසයේ ව්‍යාප්තිය නිසා බෙහෙවින්ම කරදරයට පත්ව තිබෙන අවධියේ පවා ඉරානයේ කියා සිටින්නේ අසාධාරණ නීති විරෝධී සම්බාධක ඉවත් නොකර වෙනත් අයුරින් සහයෝග ලබාදීමට දඟලන ඇමෙරිකාවේ කිසිදු ආධාරයක් පිළිනොගන්නා බවයි.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලින් මුල්‍ය ආධාරයක් ලබාගැනීමට ඉරානය විසින් මේවන විටත් ඉල්ලීමක් ඉදිරිපත් කර තිබෙනවා. එම මුල්‍ය පහසුකම් ඉරානයට ලබා දීමට එරෙහිව ඇමෙරිකාව බාධා ඇතිකරන බව අපට වාර්තා වෙනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කෙරෙහි  බොහෝ සෙයින් බලපෑම් කිරීමට ඇමෙරිකාවට පුළුවන්. චීනය ඇතුළු තවත් යුරෝපීය රටවල් කිහිපයක් ඉරානයට සහයෝගය ලබාදීමට ඉදිරිපත් වී තිබෙනවා. කොරෝනා වසංගතය නිසා බරපතල ලෙස පීඩා විඳිමින් සිටින ඇමෙරිකානු පුරවැසියන්ට ආධාර හා උදව් ලබාදීමට ඉරානයේ ඇතැම් සිවිල් සංවිධාන ඉදිරිපත් වී තිබීම මේ අතර කැපී පෙනෙන කරුණක්.

ඇමෙරිකාවේ නීති විරෝධී සම්බාධක නිසා අහේනියට පත් රටක් කියුබාව යි. මෙම සම්බාධක පටන් ගන්නේ 1961 වර්ෂයේ සිට. එක්සත් ජාතීන්ගේ සම්මේලනයේ සියලුම සාමාජික රටවල් -අමෙරිකාව සහ ඊශ්‍රායලය හැර- මෙම සම්බාධක ඉවත් කල යුතු බවට ඉල්ලා සිටිනවා. කොරෝනා නිසා මහා පරිමානයේ විනාශයකට ගොදුරුවී තිබෙන උද්දච්ච ඇමෙරිකාව මෙම ඉල්ලෙමට සවන් දෙන්නේ නැත. 

කෙසේවෙතත් කොරෝනා ව්‍යසනයේ ගොදුරක් වූ රටවලට මානුෂ්‍ය වශයෙන් ආධාර උපකාර ලබා දීමට කියුබාව තමන්ගේ සීමිත සම්පත් උපයෝගී කරගෙන කටයුතු කරමින් සිටිනවා. කියුබානු ආධාරය ඇමෙරිකාවටත් ලැබී තිබෙනවා.  

අපගේ අවධානයට යොමුවන අනෙක් රට වෙනිසූලාව. අමෙරාකානු සම්බාධක නිසා බෙහෙවින්ම බැටකන්නට ඒ රටට සිද්ධවෙන්නේ තමන්ගේ ස්වෙෙරීභාවය සහ ස්වාධීනත්වය රැක ගැනීම  වෙනුවෙන් ගෙවන වන්දියක් ලෙසින්. ඉරානය සහ කියූබාව මෙන්ම හුස්ම හිරකරවන අන්දමේ සම්බාධක මෙන්ම සියලුම අාකාරයේ කුමන්ත්‍රණවලට මුහුණ දෙනවා. වෙනිසුලාවේ හිටපු ජනාධිපති බලයෙන් පහ කිරීම වෙනුවෙන් අමෙරිකාව කුමන්ත්‍රණ රාශියක්ම දියත් කළා. ඒවා සාර්ථක වූ බව කියන්න බෑ.  කෙසේවෙතත් සතුරන්ගේ මෙම විනාශකාරී පිළිවෙත්වල නම් අඩුවක් වූ බවක් පේන්නට නෑ. වත්මන් ජනාධිපති නිකෝලෝ මඩුරා මහතා අන්තර්ජාතික මට්ටමේ මත්ද්‍රව්‍ය වෙළෙන්දෙක් බවත් අමෙරිකානු වෙළෙන්ද පොළට කොකේන් සපයන බවත් දැන් කතාවක් පතුරුවන්න පටන් අරන්. ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම ගැන දන්නෝ මෙම අමූලික චෝදනාවේ සාවද්‍ය බව හා හාස්‍යජනක බව වටහා ගන්නවා. කොරෝනා ව්‍යසනය අතරේත් අාණ්ඩු පෙරලීමට මාන බලන අමෙරිකාවේ නීච ක්‍රියාව අත්හරින්නේ නැති තරම්.
.
ගෝලීය මට්ටමින් සියලූ ජාතීන්ට බලපාන වසංගතයක් නිසා මුලු මිනිස් සමාජයම පීඩාවට පත්වි තිබෙන අර්බුදකාරි මොහොතක අමෙරිකාව දශක ගණනාවක් තිස්සේ පනවා ගෙන යන සිය අසහනකාරී අසාධාරණ සම්බාධක ඉවත් කරාවී කියන බලාපොරොත්තුවක් සමහරුන්ට තිබුණා.

නව කොරොනා වසංගතය නිසා පීඩාවට පත් ජනයාට සහනයක් වශයෙන් සටන් විරාමයක් සහ ලෝකයේ සැම තැන සිදුවන ගැටුම් නවතාලීම වෙනුවෙන් ස්වේච්ඡා සංවිධාන මගින් ඉල්ලීමක් ඉදිරිපත් කරනු ලැබුවා. ඒක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම්වරයා පටන් රාජ්‍ය නායකයින් මෙම අායාචනයට සහයෝගය ප්‍රකාශ කළා. ඒත් අමෙරිකාව ඒවා තුට්ටුවටත් ගණන් ගත්තේ නෑ.

කොරොනා වසංගතය පරාජය කරන්නට මුලු මිනිස් සමාජයම සමගිව කටයුතු කිරීම අත්‍යවශ්‍ය බව කවුරුත් පිළිගන්නවා. ගෝලීය මට්ටමින් සියලු ගැටුම් වහා නැවැත්වීම, සියලූම සම්බාධක ඉවත් කිරීම සහ සම්පූර්ණ සටන් විරාමයක් ක්‍රියාත්මක කිරීම මනුෂ්‍යත්වයේ නාමයෙන් කළ යුතුව තිබෙනවා.  

ඒවිට පර්සියාවේ මහා කවි සඅදිගේ වදන් පෙළ වඩාත් අර්ථවත් වෙනවා.

මිනිස් ජාතිය තනි ශරීරයකට සමානයි
ඒකීය මූලයකින් ඒ බිහි වී තිබේ
සිරුරේ කොටසකට අැතිවන  වේදනාවන්
සියලූම ශරීරාංග පෙළෙන්නට වේ.
අනුන්ගේ දුක නොතේරෙන තැනැත්තා
මිනිසෙක් වීමට සුදුස්සෙක් නොවේ

(මෙම ලිපිය ලියන ලේඛක මහතා මලයාසියාවේ ප්‍රසිද්ධ ක්‍රියාධරයක්. සාධාරණ ලෝකයක් උදෙසා වූ ජාත්‍යන්තර සංවිධානයේ ප්‍රධානියා ද වේ.)


No comments:

Post a Comment