ආධ්‍යාත්මයට මග පෙන්වන
රමලාන් උපවාසයේ මහිමය
මිනිසෙකු ස්වකීය ආත්මය හඳුනාගනු වස් සිතුවිලි, වචන, ක්රියාවන් දමනය කල යුතුමය. මෙම අල්ප වූ ජීවිතයේ හරය ඇත්තේ මිනිසා තම ආත්මය හරිහැටි හඳුනාගැන්මෙන් පමණි. මිනිසා තම සිත කය සහ වචනය හික්මවීමට මනා පුහුණුවක් අවශ්ය වේ. ඒ සඳහා රමලාන් උපවාසය මහෝපාකාරී වේ.
රමලාන් උපවාසයේ හරය මිනිස් ආත්මය සියලු කෙලෙස් සහ දුර්ගුණවලින් මුදවා ඇලී නොගැලී ජීවත්වීමේ රහස, ආධ්‍යාත්මිකාතාවයේ අනිසංසය ඒත්තු ගැන්වීම වේ. හුදෙක්ම බඩගින්නේ සිටීම නියම උපවාසය නොවන අතර මිනිසා දුර්ගුණවලින් ඈත්වීම නියම උපවාසය වේ.
ප්රකට පර්සියානු ආධ්‍යාත්මික කතුවරයෙකු වන "ශෙයික් සදූක් " විසින් රචිත " උයූන් අක්බර් අර් රෙසා" නැමති ග්රන්තය රමලාන් උපවාසයේ පාරිශුද්ධභාවය මෙන්ම එයින් හටගන්නා ධනාත්මක හර පද්ධතියේ අගය නියමාකාරයෙන් විවරණය කර ඇත. ආධ්‍යාත්මිකත්වයේ පියා ලෙස සැලකෙන ඉමාමි අලී තුමාගේ මාර්ගයෙන් නබි නායක තුමා හුදු ජනයා අමතා දේශනා කල කරුණු එහි අඩංගු වේ.
'ජනයිනි! සියලු මාසවලට වඩා රමලාන් මාසය විශිෂ්ඨ වේ. එහි දිනයන් අනෙක් මාසයන්වල දිනයන්ට වඩා ද, එහි වේලාවන් අනෙක් මාසයන්වල වේලාවන්ට වඩා ද වටිනේය. රමලාන් උපවාසය ඔබගේ ආත්මය පිරිසිදු කරන්නට, දුර්ගුණයන් ගෙන් බැහැරව කෙලෙස් දුරු කර සමාධිගත කිරීමට මග පාදයි.බඩගින්දර උහුලන දුප්පත් අසරණ ජනතාවට උදව් උපකාර කිරීමට වැඩි වැඩියෙන් මිනිසා පෙළඹෙන්නේ උපවාසය හරහාය.
උපවාසයේ සිටිනා කාලය තුළ සියලු දෙනා කෙරෙහිම සමානාත්මකතාවයක් හටගන්නා අතර කරුණා ගුණයද සිත තුළ ඉහල නැගේ.බොල් හරසුන් හිස් වචන කථා නොකිරීමෙන් තම වචනයද , උචිත නොවන සංකර නොවන දෑ නොබැලීමෙන් දර්ශනයද, අදාල නොවන දෑ නොඇසීමෙන් සවනද හික්මවීමට කටයුතු කරලීමට වගබලා ගත යුතුවේ.අසරණ අනාථ ජීවිත දෙස කරුණාවෙන් බැලීමට පුරුදු පුහුණු වේ. එසේ කිරීමෙන් ලොව වසන සියලු ජීවීන් දෙස සමානාත්මකතාවයකින් බැලීමට සිත පුරුදු වේ.
ජනයිනි! ඔබගේ හෘද සාක්ෂිය ඔබගේ නිමක් නොමැති ආශාවන්වල වහලෙකු බවට පත් කර ඇත.උපවාසය තුළින් එය මුදවා ගෙන දෙවිදුන්ගේ කරුණාව ලබාගැනීමට උත්සහ දැරීම වඩාත් යෙහෙකිය. තමන් කල පවු පිළිබඳ හදවතින්ම මෙනෙහි කර නැවතත් එවන් අකුසල් වලින් තම ආත්මය අපිරිසිදු නොකරගන්නා බවට අදිටන් කරමින් උපවාසයේ යෙදෙන්නට මිනිසා කටයුතු කල යුතු වේ.
ජනයිනි! උපවාසයේ යෙදීම සඳහා ඔබ කරනා සෑම කාර්යයක්ම( ආහාර පිලියෙල කිරීම, ආහාර සැපයීම ) නැමදීමක් වේ.
"ඔබ අත තිබෙන රටඉඳි කැබැල්ලක් හෝ වතුර පොදක් තවත් කෙනෙකුට ලබාදී පරිත්යාගශීලීත්ත්වයේ නිරාමිස සතුට විඳගන්නැයි නබි සල් තුමා පැවසූහ.වඩාත් වටින්නේ තමන් පමණක් පරිභෝජනය කිරීම නොව වඩාත් වටින්නේ අන් අය සමඟ බෙදාහදාගනිමින් ජීවත් වන විටය.
ජනයිනි! මේ උපවාස මාසය තුළ ධනාත්මක හර පද්ධතිය තව තවත් වැඩලීම තුළින් මිනිසෙකුට තම ජීවිතයේ වඩාත්ම හරවත් ආධ්යාත්මික භාවයකට ලං විය හැකිය.
උපවාසය තුළින් මිනිස් සබඳතා වඩා වඩාත් සමීප වේ. සමාජයේ සියලු ස්ථර වල සිටිනා මිනිසුන් දෙස දයාවේ ඇස්වලින් බැලීමට සහ සියල්ලන්ටම එක සමාන ලෙස සැලකීමට රමලාන් මිනිස් ආත්මය හුරුකරයි.
යහපත් සහ හොඳ ජීවිතයක් යනු කෙනෙකුගෙන් තවත් කෙනෙකුට වෙනස් වන කරුණක්.මූලික වශයෙන් සියල්ලෝම මිනිසුන් වශයෙන් සතුටින් සිටීමට වෙහෙසති.වත්මන් මිනිසා වටා එතී තිබෙන පීඩිත හෙම්බත් මානසිකත්වයට සතුට ද භාණ්ඩයක් මිලට ගන්නවා මෙන් මිලට ගැනීමට සිදුව ඇත. ලෞකික සම්පත් පිළිබඳ ඇතිවන්නා වූ නොනිමි ආශාව හේතුවෙන් එවන් භෞතික සම්පත්වලින් සෑහිමකට පත් නොවන මිනිසා ඉන් ඔබ්බට යමින් සතුට සෙවීමට වෙහෙසෙයි.පසුව එය නොලැබුනු කල්හි වයාකූල වේ. දූෂිත ක්රියාවන් මගින් හෝ වස්තුව ගොඩනගා එයින් සතුට සහ සාඩම්බරය අත්කර ගැන්මට යන්ත දරන මිනිසා එය කල නොහැකි වූ කල්හි සතුට පෙති මගින් හෝ අත්කර ගැනීමේ දුර්වල උත්සහයක දරයි. බර්නාඩ් ෂෝ , බර්ටන්ඩ් රසල්, වර්ජීනියා වුල්ෆ්, වැනි ලෝපතල දාර්ශනිකයින් සහ ගත්කතුවරුන් තම දිවිය සියදිවි හානිකරගැනීමෙන් කෙලවර කලේ ආධ්යාත්මික සතුට සහ සැනසුම නොලැබුනු හෙයින්ය.
පලමුවෙන්ම "සතුට සහ සැනසුම" කුමක්දැයි මිනිසා වටහා ගත යුතුව ඇත. එයට විවිධ මිනුම් දඬු අවශ්‍ය නොවනවා පමණක් නොව එවන්නක් ලොව කොතැනකවත් නැත.සතුට ඇතිවන්නේ තමන් තුළමය. සතුට ඇතිවන්නේ සන්සුන් සහ පරෝපාකාරි මනසකින් පමණි.රමලාන් මේ සතුටට අත්තිවාරම දමයි.එහෙයින් නියම සන්තුෂ්ටිය ඇති කර ගැනීමට අනුගමනය කල හැකි හොඳම මූලාශය ආධ්යාත්මික ගුණ වගාවයි.එම අනුගමනය මානුෂීය මුහුණුවරකින් ය යුතු වේ. උපවාසය තුළින් බලාපොරොත්තු වන්නේ මෙයයි.ලෞකික ශිල්ප උදෙසා වන විශ්ව විද්යාල සහ උසස් අධ්යාපන ආයතන වලින් ලොව පිරී ඉතිරී යන තත්වයක වුවද මිනිසා මානුෂීය වශයෙන් පිරිහී එකිනෙකා ඇණ කොටා ගනිම්න් වියරුවෙස් ගන්නා ආකාරය වැඩිවීම පිළිඹිඹු වන්නේ නම් එයින් කියවෙන්නේ කුමක්ද? ම්නිසාට නැතිවම බැරි "ආගමික සහ ආධ්යාත්භික ආභාෂය" යන සත්යය පමණක්ය යන්නයි.එය අවධාරණය වන තුරු මිනිසාට නියම සතුට හිමි නොවේ. උපවාසය හරහා මේ සතුට අත්පත් කර ගැනීමට මිනිසා යොමු කරනු ලබයි.
ඉමාම් අලී තුමා වරෙක නබි සල් තුමාණන්ගෙන් මෙසේ ඇසීය "රමලාන් මාසයේ වඩාත්ම හරවත්භ ක්රියාව කුමක්ද? එයට නබි සල් තුමා කියා සිටියේ" පලමුව සියලු කෙලෙස් සහ දුර්ගුණ වලින් ඈත් වී ආධ්යාත්මයේ නිරාමිස සතුට ලංකර ගැන්මට අදිටන් කරගැනීමයි.හුදෙක් පැය ගණනක් නිරාහාරව සිටිමින් සියලු කෙලෙස් එලෙසින්ම කිරීම බඩගින්නේ සිටීම පමණක් වන අතර කිසිදු ප්රයෝජනයක් එහි නැත.
සියල්ලටම මුල "සිත"යි. සියලු ආගම්වල එය දේශනා කර ඇත. මේ සිත තරම් මිනිසා ව සුගතියටත් දුගතියටත් පත් කරන දෙයක් තවත් නැත. රමලාන් උපවාසය වැනි ප්රායෝගික ක්රියාව තුළින් මේ සිත රැකගන්නා ආකාරය පියවරෙන් පියවර මිනිස් ආත්මය මෙහෙයවනු ලබයි.
No comments:
Post a Comment