Saturday, June 5, 2021

ආත්ම විශ්වාසය යුතු ගරුත්වයක් සමාජයට ලබාදුන් 
අපේ කාලයේ යාවජීව ඉමාම්

අපට අවශ්ය අනුස්මරණ  වැඩසටහන ඉහළින් සැමරීම නොව අනුස්මරණය කරන්නාවූ ඒ ශුද්ධ වූත් අමරණීය වූත් ආත්මය සැමදා අප තුළ ජීවත් කරවීමයි. මන්ද යත් ඉමාම්තුමාගේ වැදගත්කම අදටත් හෙටටත් මගේ රටට මෙන්ම සමාජවාදය අගයන සියලු මනුසත් දනන්ටත් අත්යවශ්ය වන හෙයින්ය. ඉමාම් කොමෛයිනි යන චරිතය ලෞකික වශයෙන් ශාරීරික වශයෙන් ඔබ අපගෙන් වෙන්වී අවුරුදු ගණනාවක් ගත වුවද ඔහුගේ මතකයන්, ඔහුගේ ගාම්භීර කටහඬ අප හදවත් තුළ දෝංකාර නගමින්  රැව් පිලි රැව් දේ.නියත වශයෙන්ම මනුෂ්යයෙකු වශයෙන් ඔහු තුළ තිබූ අතිමහත් මානුෂීය ගුණාගුණයන් සැබෑ නායකයෙකු සතු නොපසුබට වීර්යය සහ දුරදක්නා තීක්ෂණ නුවණ මේ සියල්ලටම වඩා මහත් කරුණා ගුණයෙන් පිරී ඉතිරී ගිය සැබෑ සරල බවින් මමද ඔබද ඉගෙනගත යුතු පාඩම් එමටයි.

සමාජයක නියම වෙනසක් නැතහොත් ධනාත්මක පුනරුදයක් ඇති විය යුතුමය.සෑම යුගයකම මිනිසා එවන් වූ පුනරුදයක් බලාපොරොත්තු වේ.ලෞකික වශයෙන් මෙන්ම ලෝකෝත්තර වශයෙන් පිබිදීමක් සඳහා අත්තිවාරම් දැමීම සැබෑ නායකයෙකු සතු කුසලතාවයකි.ඉමාම් කොමෛයිනි තුමා වනාහී යුගයේ අවශ්යතාවයන්ට සරිලන ආකාරයෙන් සියලු පැතිකඩවලින්ම ගැඹුරු පිබිදීමක් ඇතිකල මහා යෝධයෙකි.භෞතික වශයෙන් මෙන්ම ආත්මීය වශයෙන් පිබිදෙන්නාවූ සමාජයක පුනරුදය පරම්පරා ගණනාවකට ඔඩු දුවනු ලබයි.

ඉමාම් කොමෛයිනි තුමා ස්වභාවයෙන්ම "වෙනස" අදහන ගෞරවනීය වෙනසකට අඩිතාලම දමන චරිතයක් විය.පුනරුදයක් ඇති කිරීමෙහිලා ඔහුගේ ගමන එක් අංශයකට පමණක් සීමා නොවී සෑම අංශයකින්ම වඩාත් ගැඹුරින් හා පුලුල්ව වියාප්තව ඇරඹුණි.

එතුමාගේ ගමන හුදෙක් ගුරුවරයෙකුගේ චරිතයට පමණක් සීමා නොවී සියලු විෂයන් තුළට ගැඹුරින් කිඳා බැස තිබිණි.විප්ලවීය ජීවීතය තුළ නියම මගපෙන්වන්නෙකු සහ මාර්ගෝපදේශකයෙකු වශයෙන්ද එතුමාගේ යාවජීව ගමන කැපී පෙනුනි.


ආරම්භයේ සිටම ඉමාම් කොමෛයිනි තුළ විප්ලවීය වෙනසකට මුල පුරන ආකල්ප සහ බලාපොරොත්තු තිබුණි.

1960 දී පිබිදුනු ඉස්ලාමීය පුනරුදය සමඟද මෙය පිබිදී තිබුණි.ඉමාම් තුමාගේ වයස අවුරුදු 30 වන විටත් එතුමා තුළ උදාවූ විප්ලවීය අදහස් එතුමා උද්දීපනය කලහ

 වසීර් යස්තිගේ සටහනක ඉමාම්තුමා විසින් ස්වකීය අත් අකුරින් තැබූ සටහනක් පහත දැක්වේ.ඉමාම්තුමා සෑම අදහසක්ම ශුද්ධ වූ කුරානය තුළින්ම උකහා ගත්හ.

" නබිවරයාණනි පවසන්න! මම ඔබලාට දේශනා කරන්නේ එකම එක දෙයක් පිළිබඳවය.ඔබලා දෙදෙනෙකු වශයෙන් හෝ තනි තනියෙන් අල්ලාහ්ගේ සැබෑ මාර්ගය වෙණුවෙන් පෙනී සිටින්න.

ජනතාවට දෙවිඳුන්ගේ නියම මාර්ගය වෙණුවෙන් පෙනී සිටින්නට මෙමගින් අර්ථකතනය කරයි.මෙම චින්තනය ඉමාම්වරයාගේ හදවත අභ්යන්තරයේ ගැඹුරින්ම පැළ පදියම්ව තිබිණි. වෙනසකට මුල පුරන මෙම අධිශ්ඨානය එතුමා විසින්ම උපකල්පනය කර ක්රියාත්මක කරන ලදී. මා එතුමාව " වෙනසේ පුරෝගාමියා සහ නියමුවා ලෙස අර්ථකතනය කරන්නෙමි.උපදේශනය, තීන්දු තීරණ ගැනීමෙන් පමණක් නොනැවතී විප්ලවීය පසුබිම තුළ තමා විසින්ම සියලු දෑ ම සිදුකරන ලදී. විප්ලවවාදියාත්, විප්ලවයේ මෙහෙයුම්කරුත් යන ද්විත්ව චරිතයම එතුමා නියෝජනය කළෝය. කුම් නගරයේ ඉගෙනුම ලැබූ ශිෂ්යයින් අතර පමණක් සීමා නොවූ එතුමාගේ විප්ලව මෙහෙයුම ඉරාන දේශය පුරාම ජීවත් වූ සියලුම නිදහස අගයන මානවයින් තුළ නව චින්තනයක පෙරනිමිති ඇතිකරලීමට සමත් විය.

මෙම සත්යය මාර්ගය වනාහි නබිවරුන්ගේ සහ දේව දූතයින්ගේ ශුද්ධ වූ මාර්ගය වේ. සමාජවාදය පෙරදැඩිකරගත් විප්ලවයකට තුවක්කු යුද්ධ හෝ ප්රචන්ඩත්වය කිසිසේත්ම අවැසි නොවන අතර යහපත් සිතුවිලි සහ අතීත පරම්පරාවේ චින්තනයන් පමණක් අවශ්ය වේ. මිනිසුන්ගේ හදවත අභ්යන්තරය තුළ ධනාත්මක හැඟීම් අවදිකර ඒ කැකෑරෙන හැඟීම් තම මාර්ගෝපදේශනයට විප්ලවීය පෙරමගට සකස් කලහ.

මිනිස් චෛතසිකයන් තුළ සැඟව පවත්නා හැඟීම් අවදිකොට එය සක්රිය කල යුතු බල ඉමාම් අලී ( අලෛ) තුමාගේ කියමන සත්යයක් බවට පත් කරමින් එම අඩිපාරෙම ගමන් කලහ.

මිනිස් හදවත් තුළ නිදන්ගතව පවතින ආධ්යාත්මික ගුණාගුණයන් අවදිකොට භෞතික ගැටලු නිරාකරණයටත් ආත්මීය වශයෙන් මෙතුමා මිනිස් හදවත් පුරුදු පුහුණු කළහ.ලෞකික මෙන්ම ලෝකෝත්තර වශයෙන් පුනරුදයකට එතුමා තම විප්ලවීය මෙහෙයුම දියත් කල අතර එහි ආනිසංස පරම්පරා ගණනාවක්ම අත්විඳිමින් ඇත.

මෙම විප්ලවය හරහා එතුමා බලාපොරොත්තු වූයේ ඉරාන ජනතාවගේ දීර්ඝ කාලීන සුභසිද්ධියයි.ඉමාම්වරයාගේ විප්ලවය පටන් ගන්නට පෙර සිටම ඉරානය තුළ කණ්ඩායම් වශයෙන් අරගල  කරන්නට පිරිස් එක්රැස්වුණි.නුමුත් ඔවුන්ගේ අරගලයන් එක් රාමුවකට පමණක් සීමා විය.සමහරක් අරගලයන් විශ්ව විද්යාල සිසුන් තුළ පමණක් සීමා විය.එහි අඩුම වශයෙන් ශිෂ්යයින් සියයක් එකසිය පණහකට පමණක් සීමා විය.ඉමාම් තුමාගේ සේවය යම්කිසි කණ්ඩායමකට පමණක් සීමා නොවී මුලු ඉරාන දේශය පුරාවටම විවිධ සමාජ ස්ථරයන් වලටද ඔඩුදුවන්නට විය. එක් දේශයක වැසියන් වනාහී මහ සමුදුරක මෙන් විශාල පරාසයකට දිව යන්නකි.එහි සමුද්ර ඝෝෂාව වනාහි සියලු දෙනාටම කල හැකි කාර්යයක් නොවේ.


නිවැරදි දැක්මකින් තම ගමන් මෙහෙයවූ ඉමාම් කොමෛයිනි තුමා රටේ ජනයා තුල පරගැතිවාදී අදහස් අතුගා දමා සමාජවාදී ආධ්යාත්මික හැඟීම් පුබුදු වන්නට සමත් වූහ. 60 දශකයට පෙර ඉරාන සමාජය තම අනාගතය මෙන්ම ජීවන රටාව පිළිබඳවත් කිසිදු තැකීමක් නොකොට ජීවත් වන්නන් වාලේ ජීවත් වෙමින් හසරක් නොමැතිව අතරමංව සිටියහ.තම ස්වාධීන අයිතීන් වෙණුවෙන් හඬක් නගන්නටත් සමාජ ක්රමය වෙනස් කිරීමට අරගල කරන්නටවත් එදා විදේශ ගැති සමාජය තුළ පුනර්ජීවයක් ඇති නොවිණි. ඉමාම් කොමෛයිනි නම් අසහය යුග පුරුෂයා මෙම ගතානුගතික නීරස ක්රමය වෙනස් කරමින් සමාජය තුළ නව ජීවයක් ඇති කරලමින් නිදහස අගයන සියලු ආත්මයන් තුල විප්ලවීය සිහිනය රෝපණය කරන්නට සමත් වූහ.

සමාජයක් වෙනස් කරලීමේ මුල්ම අඩිතාලම වශයෙන් තනි පුද්ගලයින් තුල ඉස්ලාමීය විනය සහ යුක්ති සහගත භාවය උදෙසා තරුණ කැල අතර ඉමාම්වරයා විසින් දේශන පවත්වන ලදී.ෆික්හ්, උසූල්, යන විෂයයන් සමහරක් එහි අන්තර්ගත වුණි.සතිපතා පැවැත්වුනු ඉමාම්තුමාගේ දේශන තුල සැබෑ මාර්ගයට අවතීර්ණ වනු පිණිස තිබෙන විනයානුකූල මාර්ගයන් ඒ ආකාරයෙන්ම සිත් තුලට කාවද්දන ලැබීය.මෙම දේශන වලට සවන් දෙන සිසුන් තුල සිත අභ්යන්තරයෙන්ම හැඟීම් ඉපද එය කඳුලු වශයෙන් ඇස් අගින් පිටාර ගලන්නට විය.ඉලක්කයට ලඟා කෙරෙන ඉමාම්තුමාගේ අරුත්බර වචන, සමාජමය වශයෙන් පෙරලියක් ඇති කරලීමට සමත් එතුමාගේ ධෛර්යය එදා සමාජය තුළ විශාල පෙරලියක් හා පරිවර්තනයක් ඇතිකිරීමට සමත් විය.

විප්ලවයේ ආරම්හක අවදිය එනම් 1963 දී ප්රධාන නගරවල වැසියන් විප්ලවීය අදහස් පෙරදැඩිකොට ගනිමින් කුඩාවට නැගී සිටින්නට වූහ.එකල එම විරෝධයන් දැඩිලෙස රජය මර්ධනය කිරීමට පෙළඹුනත් එය මුලුමනින්ම මර්ධනය කිරීම අපහසු කාර්යයක් විය.මෙම ජනතා රැලිය විප්ලවය ජයග්රහණය දක්වාම ක්රියාත්මක විය.මෙය හුදෙක්ම ඉමාම්තුමා විසින් ජනයාගේ හදවත් තුල ඇතිකෙරූ පෙරලියේ ප්රතිපලයක් විය.

මෙම යාවජීව ඉමාම්වරයා මෙලොවින් නික්ම ගොස් දශක තුනකට වඩා වැඩි වුවත් තවමත් එතුමා මිනිස් සන්තානයන් තුළ අමරණීය චරිතයක් බවට පත්ව ඇත. එතුමා කීවේ "උතුරුකරයත් එපා දකුණත් එපා ඉස්ලාමයේ පැවැත්ම පමණක් අවශ්ය බවයි" .මෙම විප්ලවය වනාහී ඉරාන ජනයා පමණක් නොව මුලු ලෝකවාසී නිදහස් චින්තනය අගයන ජනයා ලැබූ විජයග්රහණක් බවයි.


ආධියාත්මික දැනුම , සැඟවුනු විඥාණය , දේව ධර්මය සහ අභිධර්මයන් පිලිබඳ දැනුම එතුමාගේ විප්ලවීය චින්තනයන් තව තවත් මුවහත් කරන්නට සමත් විය. එතුමාගේ බොරු ආටෝප නැති සැබෑ චාම් දිවිය ලෝකවාසී සියල්ලන්ගේම නෙත් සිත් ඇදගන්නට සමත් විය. ඉරානයේ සම්පූර්ණ පාලනය ඉමාම් තුමාට ලැබුණු පසුව ද එතුමා ජීවත් වූ සරල දිවි පැවැත්වේම ජීවත් වූහ. කුඩා නිවසක් සහ ආදරණීය පවුලක් එතුමාගේ එකම වත්කම විය.සුඛෝපභෝගී දිවියක් ගතකිරීමට එතුමාට අවැසි නම් ෂා රජුගේ ධනවත් මාලිගයක තම දිවිය ගත කරන්නට අවකාශ තිබුණි.එතුමා වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම සැබෑ නායකයෙකු විය.

ලෞකික දිවිය පුහු ආටෝපයන්ගෙන් අරක්ගෙන ජීවත්වීමට එතුමා තුළ කිසි කැමත්තක් නොතිබිණි.විශේෂයෙන් ශුද්ධ වූ කුරානය පිළිබඳවත් නබි සල් තුමාගේ ශුද්ධ වූ අහ්ලුල් බෛතයන් වෙත එතුමා දැක්වූ අපරිමිත සෙනෙහසත් එතුමාගේ විප්ලවීය ජීවිතයට මනා සෙවනැල්ලක් විය. කොමෛයිනි තුමා ඉමාම් අලී තුමා ගේ ආධ්යාත්මික පොතක් වන "නහ්ජුල් බලාගා" තම මාර්ගෝපදේශකයා වශයෙන් අනුගමනය කලහ. 

ශුද්ධ වූ කුරානයට අනුකූලවත් නබි තුමාගේ ජීවන ගමනට අනුකූලවත් සම්පූර්ණයෙන්ම තම ජීවිතය ජීවත් වූ ඉමාම් අලී තුමාගේ ජවිත දර්ශනය තදින්ම ඇදහු ඉමාම්තුමා සැබෑ මනුශ්යයෙකුට හිමි මානව ගුණවලින් වෑහෙන්නට විය.

විප්ලවීය මග සිටි ඉමාම්තුමාගේ අවධානය වෙනතකට යොමු කරන්නට තවත් පිරිසක් බොහෝ උත්සහ ගත්හ.එවිට එතුමා ප්රකාශ කලේ " ඉස්ලාමය විනාශ වී ඉරානය පැවතෙනවාට වඩා ඉරානය විනාශ වී ඉස්ලාමය පැවතිය යුතු බවත්ය.

සමාජමය වශයෙන් මෙන්ම ධාර්මික වශයෙන් ලෝකය පරාජිතව තිබෙන කාලයක ඉමාම් තුමා සැබෑ මාර්ගයේ වටිනාකම මෙන්ම ආධ්යාත්මිකත්වයේ වටිනාකම මැනවින් කියා  දුන්හ.

ඉමාම්තුමාගේ යුක්තිසහගත ප්රතිපත්ති, සමාජවාදී දේශපාලන ගමන් මග ඉරානයට පමණක් සීමා නොවී ලොව අනෙකුත් මුස්ලිම් සහ මුස්ලිම් නොවන රටවල ප්රසාදයටත් අනුගමනයටත් ලක්විය.

"ඇමරිකාව අපගේ ආරක්ෂකයා සහ ඉටුදෙවියා"යැයි අරාබි රටවල් බටහිර ගැතිවී පුරසාරම් දොඩන විට ඉස්ලාමය පමණක් අපේ ආරක්ෂකයා යැයි ඉමාම්තුමා වීරත්වයෙන් යුතුව කියා සිටියහ.ඉරාකයට මෙන්ම ප්රංශයේ ජීවත් වන අවධිය තුලත් ඉමාම්තුමා ඉරානයේ බටහිරවාදී  ෂා පහ්ලවී පාලනයට විරුද්ධව නිහඬ අරගලයක නිරත වූවෝය.එතුමාගේම මෙහෙයවීමෙන් දියත්වුනු ඉරාන ඉස්ලාමීය විප්ලවය ජය විසිවන ශතවර්ෂයේ සිදුවූ බලවත්ම මානුෂීය විප්ලවය විය.මෙම විප්ලවය තුලින් ලෝක ආර්ථිකය, දේශපාලනය,සංස්ක්රුතිය මෙන්ම  ප්රාන්ත බලයටද විශාල බලපෑමක් ඇති කලේය.


ඉමාම්තුමා ගෙනගිය මානුශීය විප්ලවය අන් රටවල්වලට සැබෑ ආදර්ශයක්ම විය.ලෝක දේශපාලන ඉතිහාසය තුල ආධ්යාත්මික සමාජවාදය උදෙසා වන අරගල අතර ඉරාන විප්ලවය පලමුතැන සිටී.පලස්තීනය, බහරේනය, ඊජිප්තුව සහ තවත් සමහර රටවල් ඉමාම්තුමාගේ මාර්ගෝපදේශනය සහ නියායන් ආදර්ශයට ගනිමින් සිටී.ඉස්ලාමීය විප්ලවය පිළිබඳ මවුලානා අබුල් අ'ලා තමාගේ ප්රකාශයේදී ( 1979/ 29දින) "ඉමාම්තුමාගේ විප්ලවය වනාහී ඉස්ලාමය වෙණුවෙන් එහි යහපැවැත්ම උදෙසා කල මෙහෙයුමක් පමණක් බවත් සියලුම මුස්ලිම්වරුන් භේද බින්න නොබලා එක්ලැස් විය යුතු බවත් කියා සිටියේය.

ෂියා සුන්නි එකමුතුවටද එතුමාගේ එතුමාගේ අසහය කැපවීම අගය කල යුතුමය.ජාත්යන්තර එකමුතු සතිය එතුමා නිර්මාණය කලේ බටහිරවාදීන් විසින් ඇතිකල ෂියා සුන්නි භේදය අතුගා දැමීමටයි.නබිතුමාගේ මීලාද් දිනය සමරනු වස් එතුමා මෙම සතිය නිර්මාණය කලෝය.

පලස්තීනය වෙණුවෙන් ද  පෙනී සිටිමින් පලස්තීනයේ විමුක්තිය උදෙසා කුද්ස් දිනය නිර්මාණය කරමින් කියා සිටියේ බෛයිතුල් මුකද්දසය වෙණුවෙන් සෑම මුස්ලිම්වරයෙකුගේම හැඟීම් අවදි විය යුතු බවකි.එතුමා කියා සිටියේ මුස්ලිම්වරුන් සියල්ලන්ම එකට එක්ව එකා බැගින් ඊශ්රායලය වෙත වතුර බාල්දියක් විසි කලහොත් සියෝනිසවාදීන් ගේ නමවත් ඉතිරි නොවන බවත්ය. 

ඉමාම් කොමෛනි වනාහී යුගයේ අවශ්යතාවයන් වෙණුවෙන් පහල වූ ශුද්ධ වූ ආත්මයකි.ලෞකික සහ ලෝකෝත්තර යන ද්විත්ව ජීවිතයන්ම හරවත්ව ගතකල එතුමාගේ චරිතප්රදානයෙන් මනුෂ්යයින් වශයෙන් උකහා ගත යුතු පාඩම් එමටයි. විප්ලවයකින් ආරම්භ කර අවසන ලොව වසන සියලු ආත්මයන්ගේ හදවත් තුල චින්තනීය විප්ලවයක් ඇතිකල අපේ කාලයේ දිව්යමය මාර්ගෝපදේශක ඉමාම් කොමෛනි අමරණීය වන්නේ එබැවිනි.

ශිෆානි.

No comments:

Post a Comment