ලෝක සිනමාවේ නිත්‍ය අගය
" ඉරාන සිනමාව"
"සිනමාව" වචන වලට පෙරළිය නොහකි හැඟීම් සහ සිතුවිලි එළියට ඇද දමනවා පමණක් නොව මිනිස් ආත්මයට කතා කරන ප්‍රධාන මෙවලමකි.
ඉරාන සිනමාව ලෝකයෙ අවධානයට පත්වෙන්නෙ 80 දශකයෙ අග සහ 90 දශකයෙ මුල ඉඳන්. 1932 අවුරුද්දෙ පළමුවෙනි කතා නාද චිත්‍රපටය නිර්මාණය වීමත් එක්ක සිනමාපට බිහිවීම දිගින් දිගටම සිදුවුණත් කැපීපෙනෙන දියුණුවක් ඉරාන සිනමාව තුළ ඇතිවෙන්නෙ 80 අග පටන්. කලාත්මක සිනමාවෙන් පන්නරය ලබල තමන්ගෙම අනන්‍යතාවක් සහිත සිනමාවක් බිහිකරගන්න ඉරාන සිනමාකරුවන් සමත්වුණා. මැදපෙරදිග මේ කලාපය නිතරම යුද ගැටුම්, දේශපාලන අවුල් වියවුල් වලින් පිරීගිය තැනක්. ඔවුන් ගෙ කලාව වැඩිදියුණු වෙන්නෙ එවැනි පසුබිමක. විශේෂයෙන් ඉරානය තුල තිබෙන සංස්කෘතික නීති රීති හමුවේ මේ සිනමාකරුවන්ට තමන්ගෙ නිර්මාණ ඇතුලෙ යම් සීමාවන් පනවාගන්න බොහෝ අවස්ථාවලදි සිදුවුණත් ඔවුන් ඒ අභියෝගය ජයගන්නේ ඉතාම නිර්මාණශීලීව. වඩා සංයමයකින් යුතුව ඉරාන සිනමාව නිර්මාණ ඉදිරිපත් කරති.
අබ්බාස් කිරොස්තාමි, අස්ගර් ෆර්හාඩි, මජීඩ් මජීඩි වැනි අය ඉරාන සිනමාව ඉහළට මට්ටමකට අරගෙන එන්න දායක වුන සිනමාකරුවන් විදිහට හඳුනා ගන්න පුලුවන්. ලෝකයෙ තිබෙන ප්‍රධාන පෙළේ හැම සිනමා උළෙලකම මේ චිත්‍රපට ඇගයීමට ලක්වී තිබෙනව. 1998 අවුරුද්දෙ කිරොස්තාමිගේ Taste of Cherry සිනමාපටයට ප්‍රංශයෙ කාන්ස් සිනමා සම්මාන උළලේ පිදෙන ඉහළම සම්මානයක් වුණ palme d'or සම්මානය හිමිවෙනව. ෆර්හාඩි ගෙ The Separation, The Salesman චිත්‍රපට ඔස්කාර් සම්මාන උළලේ හොඳම විදෙස් භාෂා චිත්‍රපටවලට හිමි සම්මානයෙන් පිදුම් ලැබීම ඒ ජයග්‍රහණයන් උපරිම මට්ටමකට ගේනව. ජීවිතේ කටුක ස්වරූපය ඒ අයුරුන්ම සිනමාවට නගන යාතාර්ථවාදී සිනමාවක් විදිහට අපිට ඉරාන චිත්‍රපට හඳුනාගන්න පුලුවන්. විශේෂයෙන් ෆර්හාඩි වගේ සිනමාකරුවෙක් ඉරාන සමාජයෙ සංස්කෘතික පසුබිම, පවුල ඇතුලෙ එකිනෙකා මත පැටවෙන අධිපතීන්වය, ඒ නිසා ඇතිවෙන මත ගැටීම් සහ මානසික බිඳවැටීම් තමන්ගෙ චිත්‍රපට වලට වස්තු විෂය කරගන්නව. ඔහුගේ About Elly චිත්‍රපටය තිරගත වෙන්නෙ 2009 අවුරුද්දෙ. ලොව පුරා ඩොලර් මිලියන හතක ආදායම් වාර්තාවක් එක්ක About Elly ඉතිහාසයෙ දෙවන වැඩිම ආදායමක් ඉපැයූ ඉරාන චිත්‍රපටය බවට පත්වෙනව. ප්‍රථම ස්ථානය හිමිවෙන්නෙ ෆර්හාඩි ගේ ම A Separation චිත්‍රපටයට. කලාත්මක අතින් වගේම ආදායම් අතිනුත් සාර්ථක සිනමා නිර්මාණන් බිහිකරගැනීමට හැකිවීම ඉරානය ලැබුව සුවිශේෂ ජයග්‍රහණයක්.
නීති විද්‍යාලයේ එකට ඉගෙනුම ලබපු කීපදෙනෙක් තමන්ගෙ පවුල්වල අය එක්ක දවස් තුනක විනෝද චාරිකාවක් යමින් ඉන්නව. ටෙහෙරාන් නගරෙ ඉඳන් මුහුදුබඩ පළාතකටයි ඔවුන් ගමන් කරමින් ඉන්නෙ. ඔවුන් අතරෙ ප්‍රධාන කතා නායිකාව තමන්ගෙ දියණියගේ පෙරපාසල් ගුරුවරිය වුණ Elly වත් මේ ගමනට අරගෙන එනව. Ahmed එන්නෙ ජර්මනියෙ ඉඳන්. ඔහු බිරිඳගෙන් දික්කසාද වෙලා ඉන්නෙ. Sepideh ගෙ අරමුණ Ahmed සහ Elly එකතුකරවීම. මුහුද ආසන්නයෙ නිවාසයක ඔවුන් නවතින්නෙ. දෙවනි දවසෙ කණ්ඩායමේ ගැහැණු පාර්ශ්වය අවශ්‍ය දේවල් තියෙන්නෙ කීපයක් රැගෙන එන්න නගරයට යනව. පිරිමි වොලිබෝල් ක්‍රීඩාකරමින් ඉන්නව. Elly දරුවන් තිදෙනා එක්ක වෙරළේ සෙල්ලම් කරමින් සරුංගල් යවමින් බොහොම කෙළෙදෙලෙන් පසුවෙන බව පේනව. එක දරුවෙක් මුහුදේ ගිලෙන්න යන බව පිරිමි කණ්ඩායම දැනගන්නෙ ඔය අතර. ඔවුන් ඒ දරුවා බේරාගෙන ගොඩට ගේන්න සමත්වෙනව. දරුවන් බලාගන්න ඔවුන් එක්ක නතර කර ගිය Elly පේන්න නැහැ. හැම දෙනෙක්ම ඇයව හොයනව. කිමිදුම් කරුවන් මුහුදේ කිමිදිලා ඇයව හොයනව. ඒත් Elly ගැන සලකුණක් වත් නෑ. Elly කවුද කියල යමක් දන්නෙත් ඇයව යන්තමින් හරි හඳුනන්නෙත් Sepideh පමණයි. විනෝද ගමන ගිය කණ්ඩායම Elly ගැන තොරතුරු හොයන්න පටන් ගන්නව. ක්‍රමයෙන් ප්‍රශ්නය තවත් සංකීර්ණ අතට හැරෙන බවක් පෙනෙන්නෙ. දවස් තුනක් විනෝදයෙන් ගත කරන්න පැමිණි කණ්ඩායමකට අවසානෙ මුහුණදෙන්න සිද්දවෙන්නෙ සිහිනෙන් වත් නොපැතූ අත්දැකීමකට.
ආරම්භයේ දි සිනාවන්ගෙන් පිරුණු නැටුම් ගැයුම් වලින් ප්‍රීතියෙන් උතුරායන ස්වභාවයක් ගත්තත් කතාව ක්‍රමයෙන් අඳුරු ස්වභාවයක් ගන්න හැටි නිරීක්ෂණය කරගන්න පුලුවන්. කතාව අවසන් වෙන්නෙ ඒ ඛේදජනක බව උපරිම තැනට ගෙනෙමින්. ෆර්හාඩි ගේ අනෙක් චිත්‍රපට වලත් ඔහු පවුලක් ඇතුලෙ, මිනිස් සම්බන්ධතාවන් වල ඇතිවන ගැටුම්කාරී තත්ත්වයන් ඉතා සූක්ෂමව සිනමාවට ගන්නව. ඒ තුලින් ඔහු නරඹන්නන් ඇතුලෙ ඇති කරන කම්පනය ඉතාම ප්‍රබලයි. ෆර්හාඩි ගේ හැම චිත්‍රපටයකම වගේ මේ ලක්ෂණය දැකගන්න පුලුවන්. මේ චිත්‍රපටයෙ යටි පෙළ තුළ ඔහු මතුකරන්න උත්සහ කරන්න බැඳීම් වල තියන ආදරණීයබව, එකිනෙකාට දක්වන ගෞරවය, ආරක්ෂාකාරිබව වැනි දේවල් ගිලිහුණාම ඇතිවන කණගාටුදායක තත්ත්වය. ඒ කිසි දෙයක් ඔහු මතුපිට තලයෙදි නිරාවණය කරන්නෙ නෑ. මතුපිටින් අපි දකින්නෙ අභිරහස් විදිහට අතුරුදහන් වුණ තරුණියක් සොයාම ගැන කතාවක්. නමුත් "ඇය කවුද" කියල අපි වටහාගන්න තරමට "ඇයට වුණේ මොකක්ද" කියන කාරණාව ගැන අපි අවබෝධයක් ලබනව. හොඳ කලාකෘතියකින් කරන්නෙ නිතරම එය කියවන, නරඹන කෙනෙක් සිතන්න යොමුකිරීම. තමන්ගෙ අත්දැකීම් නැවත විමසමින් ජීවිතය ගැන අලුතෙන් සිතන්න පෙළඹවීම. ඒ තමා කලාකෘතියක කාර්‍ය. ඒ අනුව අස්ගර් ෆර්හාඩි ගේ About Elly චිත්‍රපටය ඉහළ ගණයේ කලාකෘතියක් බව නිසැකවම හඳුන්වා දිය හැකියි.
මේ ලෝකෙ වැඩියෙන්ම බොරු කියන අය කොටස් දෙකක් ඉන්නව. එකක් දේශපාලකයො. එයාල බොරු කියන්නෙ ඇත්ත වසන් කරන අරමුණෙන්. මොකද මේ දේශපාලකයන් ගැන ඇත්ත මිනිස්සු දැනගත්තොත් කවදාවත් බලයෙ ඉන්න එයාලට හැකියාවක් ලැබෙන්නෙ නැති නිසා. දෙවනි කණ්ඩායම කලාකරුවො. ඒ අය බොරු කියන්නෙ ඇත්ත පෙන්වන්න. කවදාකවත් මෙලොව නොතිබුණු නිර්මාණාත්මක ප්‍රබන්ධයක් ගොඩනැගීම මගින් ඒ අය කරන්නෙ ජීවිතය ගැන ඇත්ත කාරණාවක් ඒ හරහා මතුකිරීම. ව්‍යාජත්වයක, මායාවක සමහර විට ෆැන්ටසියක සළුපිලි පැළඳගෙන ආවත් ප්‍රබන්ධය ඇතුලෙ තියෙන්නෙ බොරුවක් නොවෙයි. යම් ඇත්තක්. සමහර විට මේ ඇත්‍ත දරාගන්න බැරිතරම් කටුක යමක් වෙන්න පුලුවන්. නමුත් අපිට සිද්දවෙනව ප්‍රබන්ධය දිහා සමීපව බලන්න. යම් චරිතයක් අපි අරගම්මු. ඔහු ගැන ඇත්ත දැනගන්න නම් අපිට සිද්දවෙනව ඔහු ගේ ඇස් දෙක දිහා, මූණෙන් ප්‍රකාශ වෙන භාවයන් දිහා උවමනාවෙන් බලන්න. ඔහුගෙ ජීවිත අත්දැකීමකට සමපාත වෙන්න. සමීප රූපයක් එහෙම නැත්නම් closeup එකක් අවශ්‍ය වෙන්නෙ අන්න එතකොට.
1989 අවුරුද්දේ දවසක ඉරානයෙ Sorush සඟරාවෙ පළවෙන හරි අපූරු ප්‍රවෘත්තියක් එරටේ මහා සිනමාකරු අබ්බාස් කියරොස්තාමිට දැකගන්න ලැබෙනව. ඒ හොසේන් සබ්සියාන් නම් පුද්ගලයෙක් තවත් ඉරාන සිනමාකරුවෙක් වුණු මොෂේන් මක්මල්බාෆ් නමින් තමන්ව හඳුන්වාදෙමින් එක් පවුලක් දින කිහිපයක් තිස්සේ රවටා ඇති ආකාරය. සබ්සියාන්ව අත් අඩංගුවට ගෙන ඇති බවයි ප්‍රවෘත්තියේ සඳහන්වී තිබුණෙ. මේ සිදුවීම දුටු සැණින් කියරොත්සාමි තමන් වැඩකරමින් උන් චිත්‍රපටයෙ කටයුතුත් නතර කරල වහාම පිටත් වෙනව මේ සබ්සියාන් මුණගැහෙන්න. සබ්සියාන මුණගැහෙන අවස්ථාවත් ඔහුගෙ නඩු විභාගයත් කියරොත්සාමි රූගත කරනව. Close up චිත්‍රපටය හැදෙන්නෙ මේ සැබෑ සිදුවීමත් ඉන්පසු පිටපතට අනුව රඟදැවුව තවත් දර්ශන කීපයකුත් එකතුවෙන්. මේ නිසා close up අර්ධවශයෙන් වාර්තාමය චිත්‍රපටයක් විදිහටත් නම් කළ හැකියි.
Close up ප්‍රබන්ධයේත් යථාර්ථයේත් සීමා ඉර සෑහෙන දුරට බොඳ කරනව. මේ කතාපුවත කල්පිතයක් නොවෙයි. එය සැබෑවක්. අදාළ සියළු චරිත නිරූපණය කරන්නෙ ඒ සිදුවීමට මුහුණ දුන් අයමයි. සබ්සියාන්, මක්මල්බාෆ්, කියරොත්සාමි ඇතුලු හැම කෙනෙක්ම තමන්ගේ නමින්ම තම චරිතය රඟදක්වනව. චිත්‍රපටයෙ හමුවෙන ප්‍රබන්ධය තමයි සබ්සියාන්ගේ ගේ චරිතය. ඔහුමයි තමාව වෙනත් කෙනෙක් බවට ප්‍රබන්ධකරණය කරගන්නෙ. ඒ හරහා මතුවෙන ඇත්ත නිරාවරණය වෙන්නෙ ඔහුගේම ජීවිතය දිහා සමීපව දැකගන්න ලැබෙන මොහොතේ යි.
"තමන් ගැන කතාකරද්දි කිසිම කෙනෙක් මුළුමණින්ම අවංක නෑ". ඒ බව කියන්නෙ ජපන් සිනමාකරු අකිරා කුරසාවා. අපි නිතරම සමාජය ඉදිරියෙ පෙනී ඉන්න උත්සාහ කරන්නෙ සමාජය අපිව දකින්න කැමති ස්වරූපයකින්. එතනදි හැමකෙනෙකුම තමන්වටා යම් අන්න්‍යතාවක් ගොඩනගා ගන්නව. ඒ කියන්නෙ යම් ආකාරයකින් තමන්වම ප්‍රබන්ධකරණය කරනව. පුද්ගල පෞරුෂය කියන්නෙ අන්න එහෙම අපි නිර්මාණය කරගත්‍ත පුද්ගලභාවයට. Close up චිත්‍රපටයෙ සබ්සියාන් මේ ස්වභාව තවත් දුරට ගෙනයමින් තමන්ගෙ සැබෑ අනන්‍යතාව සඟවල තමන් වඩා ප්‍රිය කරන චරිතයකට ආරෝපණය වෙන්න උත්සාහ දරනව. සබ්සියාන් සිනමාවට කලාවට හිතඇති චරිතයක්. සරලවම කිව්වොත් චිත්‍රපට පිස්සෙක්. එක් මොහොතකදි ඔහු ගේ සිනමාලෝලීත්වය ඔහුගේ සැබැ අනන්‍යතාව යට කරගෙන ඉහළට මතුවෙනව. ඔහුගේ ආශාව විසින් ඔහුව මෙහෙයවනව. තමන්ගෙ සැබෑ ජීවිතේ කිසිවක් නැති හිස්කම තමන් ආශා කරන දෙයින් වසාගන්න ඔහු උත්සහ දරනව. කිරොත්සාමි ඔහුවටා ගොඩනැගෙන ප්‍රබන්ධයත් ඒ තුළ ඉන්න සැබෑ ඔහුවත් මේ චිත්‍රපටයෙන් අපිට දැකගන්න සලස්වනව.
අනෙක් අතින් Close up චිත්‍රපටය සිනමාකරුවෙක්, කලාකරුවෙක් වීමේ අර්ථය මොකක්ද කියන කාරණය ඉතාම හොඳින් පැහැදිලි කරනව. හොඳ චිත්‍රපටයකින් කොයිතරම් බලපෑමක් කල හැකි ද කියන කාරණය මේ චිත්‍රපටයෙන් මතුවෙනව. එක් කුඩා සිදුවීම් මාත්‍රයක් අරගෙන සිනමාව කියන්නෙ ඇත්තටම කොයිවගේ දෙයක්ද කියන දෙයත් මනුස්සයෙකුගෙ ඇතුළාන්ත ගැඹුර එයින් නිරුපිත වෙන ආකාරයත් කියරොත්සාමි අපිට පෙන්වා දෙනව. සිනමාලෝලී සබ්සියාන් අවසානයේ සිනමාකෘතියකම බවට පත්වෙන ආකාරය ප්‍රහර්ශය මුහුවුණු විස්මයක් ඉතිරි කරනවා.
පුංචි අහමඩ් දුවගෙන ගියා. එයාට පුලුවන් උපරිම වේගයෙන්. ආපහු හැරී නොබලාම. මොහොතකට වත් නොනැවතී. එයාගෙ අතේ තිබ්බ සටහන් පොතක්. ඒකත් අතින් අරගෙන රළු ගල් පොලව මතින් එයා දිව්ව. වංගු ගැහි ගැහි පාර තවත් ඈතට ඇදුණ. ඒත් අහ්මඩ් ඒ පාර දිගේ දිව්ව. කන්ද උඩින්, ඔලිව් ගස් ගොන්න මැද්දෙන්. නගරය දක්වාම. එයා හොයා යමින් හිටිය ඒ නගරය. එයා හොයා යමින් හිටිය එයාගෙ මිත්‍රයව. ඒත් එයා ඉන්නෙ කොහෙද? මේ නගරෙ එයා ඉන්න බව අහමඩ් දැනගෙන උන්නත් හරියටම කොතනද කියන්න එයා දන්නෙ නෑ. කෙළවරක් නැති ගෙවල්, කඩ වීදි මේව අතරෙ කොතනක හරි එයා ගෙ යාලුව ඉන්නම ඕන.
ඒත් ඇයි අහමඩ් තමන්ගෙ යාලුව හොයාගෙන දිව්වෙ? මේතරම් හදිස්සියකින්? යාලුවයි එයයි දෙන්නම හිටියෙ ඉසකෝලෙ එකම පන්තියෙ. එකලඟ, එහාපැත්ත මෙහා පැත්ත පුටුවල. යාලුවට දෙපාරක්ම ගෙදර වැඩ කරන් එන්න බැරි වුණ නිසා පන්තියෙ ගුරුතුමා එයාට බොහොම තදින් බැණවැදිල තිබ්බ. තුන් වෙනි වතාවටත් ගෙදර වැඩ කරන් ආවෙ නැත්තන් එයාව පන්තියෙන් එළියට දාල තියනව කියල ගුරුතුමා තදින්ම යාලුවට තර්ජනය කළා. ඉතින් එදා වැරදීමකින් එයා යාලුවගෙ සටහන් පොත අරගෙන ඇවිත් කියල අහමඩ් දැක්කෙ සුපුරුදු විදිහට ඉස්කොලෙ ඉවර වෙලා ගෙදර ආවට පස්සෙ. අදත් යාලුවට ගෙදර වැඩ කරන්න වෙන්නෙ නෑ. හෙට නං ගුරුතුමා යාලුවාට හොඳටම බනීවි. එයාට කිව්ව වගේ පන්තියෙන් එලියට දමාවි. එහෙම වෙන්න දෙන්න බෑ. එයා මගෙ යාලුව. මේ දැන්ම කොහොම හරි යාලුවගෙ ගෙදර හොයාගෙන ගිහින් එයාට පොත දෙන්න ඕන. යාලුවගෙ ගෙදර තිබ්බෙ කොයි නගරෙද කියල අහ්මඩ් දැනගෙන හිටියත් ඒ නගරෙ හරියටම කොතනද කියන්න අහ්මඩ් දැනගෙන උන්නෙ නෑ. අනිත් එක එයාගෙ අම්ම එයාට ගෙදරින් එලියට බහින්න දුන්නෙත් නෑ. "ඉස්කෝල වැඩ කරල පාඩුවෙ සෙල්ලමක් කරගෙන ඉන්න" අහමඩ් ගෙ අම්ම එයාට කිව්ව එහෙම. ඒත් අහමඩ්ට නම් කොයි විදිහකටවත් පාඩුවෙ ඉන්න පුලුවන් කමක් තිබ්බෙ නෑ. ඇයි. එයා වැරදිලා එයාගෙ යාලුවගෙ පොත ගෙදර ගෙනාව නිසා අද යාලුවට ගෙදර වැඩ කරන්න වෙන්නෙ නෑ. හෙට එයාට සිද්ද වෙනව ඒකට දඩුවම් විඳින්න. එහෙම වෙන්න දෙන්න බැ. වටපිට බලල අම්ම ලගපාතක නැති බව සැක හැර දැනගත්ත අහ්මඩ් යාලුවගෙ පොතත් අරගෙන වේගයෙන් දුවන්න පටන් ගත්ත. එයා ඉන්න තැනක් නොදැන. ඒත් කොහොම හරි හොයාගැනීමේ අරමුණෙන්.
අබ්බාස් කිරොස්තාමි ගේ Where is the friends home ? (1987) ඉරාන සිනමාව ලෝකයට හදුන්වාදෙන්න මුල්තැනක් ගත්ත පුරෝගාමී නිර්මාණයක් බව අද හඳුන්වනව. 70, දශකයේ ඉරානය තුළ සිද්ධවුණ දේශපාලන පෙරළියත් එක්ක ඉරාන සිනමාවේත් විප්ලවීය පෙරළියක් සිදුවුණා. යුරෝපයේ ඉතා දියුණු මට්ටමක තිබුණු කලාත්මක සිනමාවෙ අනුප්‍රාණයෙන් ඉරාන සිනමාකරුවන් තම රටේ දේශපාලන සංස්කෘතික වාතාවරණයන් සිනමාවට ගෙන එන්න පටන් ගත්‍ත. අබ්බාස් කිරොස්තාමි එතැනදි ඉතාම වැදගත් කාර්‍යභාරයක් කල සිනමාකරුවෙක් විදිහට හඳුනා ගැනෙනව. ඔහුගෙ Where is the friends home ? චිත්‍රපටය ලොව පුරා සිනමා විචාරකයන්, රසිකයන් අතින් පැසසුමට ලක්වුණා. ඉන්පස්සෙ ඔහු මේ චිත්‍රපටයට මුල් වෙන koker ගම් ප්‍රදේශය පසුබිම් කරගෙන තව සිනමාපට දෙකක් නිර්මාණය කරනව. Life and nothing more (1992), Through the olive trees (1994). මේ චිත්‍රපට ත්‍රිත්වය Koker trialogy නමින් හඳුන්වනව.
අහමඩ් දුවන හැටි බලන් හිටපු වැඩිහිටියෙක් සෑහෙන දොෂාරෝපණයක් කලා. දැන් කාලෙ පොඩි උන්ගෙ නැහැදිච්ච කම් ගැන. උන්ට හොදට ගහල හදන්න ඕන. එතකොටයි උන්ට විනයක් ඇතුව වැඩකරන්න පුරුදුවෙන්නෙ. සිරිත් විරිත් අපේ සංස්කෘතිය මේ දරුවන්ට කියල දෙන්න ඕන. එතකොට තමයි ඒව පවතින්නෙ. ඒකයි මේ වැඩිහිටිය ගෙ අදහස. අහමඩ් දුවන්නෙ මේ ගතානුගතික සීමාවන් කඩාබිඳ ගෙන. හදවතේ නීතිය වෙන කිසිම දේකට වඩා ඉහළ බව කියමින්. තවත් කෙනෙක් වෙනුවෙන් යමක් කරන්න හැකි නම් ඒක ඒ මොහොතෙම කළ යුතු බව කියමින්. අපි අවට සමාජය ලෝකය වඩා යහපත් තැනක් බවට පත්කරන්න අපිට හැකිවෙන්නෙ එහෙමයි. පුංචි දරුවෙක් අපිට කියා දෙන ලොකු කතන්දරේ අන්න ඒකයි.
No comments:
Post a Comment