සිනමාව යනු සකලවිදයයි...
ඉරානය යනු යථාර්ථයේ විදයයි,
චෙරි වල රසය යනු එහි අග්‍ර විදයයි..
Taste of Cherry (1997)
මේක මං කොහෙන් හරි කියවා තියන කතාවක්. එක්තරා ගමක හිටිය තරුණයෙක්. මෙයාට ජීවිතේ දුක්බර, කටුක අත්දැකීම් එකදිගට විඳින්න සිද්දවුණා. සැනසීමක් පේන මානෙක දකින්න ලැබුණෙ නෑ. දවසක් ඔහු ඒ දේවල් වලින් හොඳටම හෙම්බත් වෙලා මේ දුක් වේදනාවන් කොහොම හරි අවසාන කරගන්න හිතුව. එදා ඔහු පාරට බැස්සෙ ජීවිතය නැති කර ගැනීමෙ අරමුණෙන්. මේ ගමේ තිබුණ මහ සුවිසාල වැවක්. වැව පතුලේ තමන්ගෙ ජීවිතය දිය කර හරින්නයි ඔහු හිතුවෙ.
තරුණයා වැව කිට්ටුවට ආව. වැව් ඉස්මත්තෙ කවුදෝ වයසක මනුස්සයෙක් වාඩි වෙලා උන්න. තරුණයත් ඒ කිට්ටුවෙන්ම ගිහින් වාඩි වුණා. තමන් වින්ද දුක්ගැහැට ගැන පීඩාකාරි සිතුවිලි ඔහුගේ හිත ඇතුලෙ තෙරපෙමින් තිබුණා. "හැම දෙයක්ම ඉක්මණින්ම ඉවර කරගන්න ඕන" ඔහු හිතුව. තරුණය අර වයසක මනුස්සය දිහා බැලුව. එයා තමන්ගෙ පාඩුවේ වාඩි වෙලා උන්න මිසක් මොනවත් කතා කලේ නෑ. තරුණයගේ හිතේ පීඩාකාරී ස්වභාවය උත්සන්න වෙමින් තිබුණා.
"මට ජීවත්වෙලා වැඩක් නෑ. මේක මහ දුක් ගොඩක්"
වයසක මනුස්සය ලඟට ආව තරුණය මහ හයියෙන් කෑගහල කිව්ව. ඒ මනුස්සය ලඟ තිබුණ ගමන් මල්ලක්. කොහෙහරි දුර බැහැරක යන කෙනෙක් වගේ. කිසි කතාවක් නැතුව ගමන් මල්ලට අත දාල එයා වීදුරු කෝප්පයක් අරගත්ත.
"මට මේකට වතුර ටිකක් පුරවන් එන්න"
එයා කිව්ව. තරුණය ටිකක් වෙලා පුදුමෙන් වගේ බලා හිටිය. මොකක්ද මේ වෙන්නෙ කියල. මෙයාට වතුර පිපාස ඇති කියල හිතල එයා වැවෙන් වතුර ටිකක් කෝප්පෙට අරන් ගෙනත් දුන්න.
"ඔයා ඕක බොන්න"
මනුස්සය කිව්ව. තරුණයත් පුදුමෙන් වගේ බලා ඉඳල කෝප්පෙ තිබුණ වතුර ටික බිව්ව.
"මට තව වතුර එකක් අරගෙන එන්න"
වයසක මනුස්සය කිව්ව. තරුණය ආයෙත් මොකවත් හිතාගන්න බැරුව කෝප්පෙට වතුර එකක් පුරවගෙන ආව. මනුසය ඒ පාර ගමන් මල්ලට අත දාල අරගත්‍ත ලුණු අහුරක්. ඒක අරන් වතුරට දාල හොඳට කලවම් කරා.
"දැන් මේක බොන්න"
වතුර ටික කටේ තිබ්බ ගමන් තරුණයා ඒ ටික ඔක්කොම කටින් හැලුව.
"අපෝ කටේ තියන්න බෑ ලුණු රහයි"
වයසක මනුස්සය තරුණයගෙ අතින් අල්ලගෙන වැව කිට්ටුවට ආව.
"දැන් ඔයා මේ වැවෙන් වතුර ටිකක් අරගෙන බොන්න ඕන"
"ඇයි මට මෙහෙම වතුර පොවන්නෙ. මේක මොකක් හරි සෙල්ලමක් ද"
තරුණය ඇහුවෙ තරමක කෝපයෙන්
"මම කියන්නම්. ඉස්සෙල්ල ඔයා වැවෙන් වතුර ටිකක් අරන් බොන්නකො"
තරුණයා වැවෙන් දිය දෝතක් අරන් බිව්ව.
ඉන්පස්සෙ වයසක මනුස්සය ආයෙත් ලුණු අහුරක් අරන් වැවට විසි කරා.
"දැන් ආයෙත් වතාවක් වතුර ටිකක් බීල බලන්න"
තරුණයා ආයෙත් වතාවක් වැවෙන් වතුර අරන් බිව්ව
"වෙනසක් දැනුණද?"
වයසක මනුස්සය ඇහුව.
"නැහැ කිසිම වෙනසක් නෑ"
තරුණයා උත්තර දුන්න.
ඉන්පස්සෙ ඒ වයසක මනුස්සය තරුණයාට මෙහෙම කිව්ව.
"දැන් ඔයාට තේරෙන්න ඇති මම කළේ මොකක්ද කියල. මේ වතුර ටික තමා කෙනෙකුගෙ ජීවිත අවබෝධය. දුක්, කරදර තමා ලුණු අහුර. ජීවිතේ අපි කාටත් මුහුණ දෙන්න වෙන ප්‍රශ්න බොහෝ වෙලාවට එක සමානයි. අපි හැමකෙනෙකුටම උපතින්ම මේ දේවල් උරුමයි. කාටවත් ඒකෙන් ගැලවෙන්න බෑ. ඒත් ඔයා අර වතුර වීදුරුව වගේ පටු සීමාවක හිරවෙලා ජීවිතය දිහා බලන්න පුරුදු වුණොත් ඔයාට හිතේවි මට තමා හැම දෙයක්ම වෙන්නෙ. මම තමා හැම වෙලාවෙම දුක් විඳින්නෙ කියල. ඔයාට ජීවිතේ තිත්ත වේවි. ඔයා ඉක්මණින්ම කළකිරේවි. ඍණාත්මක සිතුවිලි වලින් ඔයා පිරේවි. ඒත් ජීවිතේ ගැන හොඳට අත්දැකීම් ලබපු. ඒවයින් පන්නරය ලබපු මිනිස්සු දන්නව. දුක වේදනාව කාටත් පොදුයි කියල. කඩා වැටුණත් ආපහු නැගීහිටින්න ඒ අය දන්නව. දුක් වේදනා වලට බෑ ඒ අයව විනාශ කරන්න. ඒ නිසා කෙනෙකුගේ ජීවිත පරිමාව විශාල වෙන තරමට ජීවිතේ විඳවමින් නාස්ති කරදැමිය යුතු දෙයක් නොවන බවට අවබෝධය ලැබෙනව. ඉතින් පොඩි වතුර වීදුරුවක් වෙනවද නැත්නම් මහ වැවක් වෙනවද කියන එක ඔයාම තීරණේ කරන්න"
ඉරානයෙ මහා සිනමාකරු අබ්බාස් කියරොස්තාමි ගෙ Taste of Cherry චිත්‍රපටයෙ ඇතුළත් වෙන කතාව මේකම නොවුණත් සිනමාපටයෙ හරය මම අහල තියන මේ කතාව එක්ක සෑහෙන සමාන බවයි මට දැනුණෙ. 1997 දි ප්‍රංශයෙ කාන්ස් සම්මාන උළලෙ Palme d'Or සම්මානයෙන් පිදුම් ලබන Taste of Cherry මෙතෙක් නිමැවුණු හොඳම කලාත්මක බවින් ඉහළම චිත්‍රපට අතර ඉහළින්ම රැඳවෙනව (Palme d'Or දිනුව මුල්ම ඉරාන චිත්‍රපටය Taste of Cherry මතක විදිහට). කියරොස්තාමි බොහෝම අවමවාදී ශෛලියක් භාවිත කරන්නෙ මේ චිත්‍රපටය නිර්මාණය කරද්දි. සීමිත චරිත ප්‍රමාණයක්, එකම දර්ශන තල. එකම Long takes ඇතුළෙ දීර්ඝ සංවාද, මුල මැද අද නැති අසම්පූර්ණ කතාපුවතක් වගේ ස්වල්ප දේවලින් ඔහු මේක නිර්මාණය කර තිබෙන්නෙ. ඒවගේම නිශ්චිත පිටපතක් වත් චිත්‍රපටයට තිබිල නැහැ. ඒ ඒ අවස්ථාවල චරිත අතරෙ හුවමාරු වෙන සංවාද ආශ්‍රයෙනුයි මේ වෙන්නෙ මොකක්ද කියන දෙය නරඹන්නෙකුට වටහගන්න සිද්දවෙන්නෙ. නමුත් මේ කුඩා දේවල් ටිකකින් ඔහු මවන ජීවිත ගැඹුර මහ සුවිසාල එකක්.
ඉරානයෙ ටෙහෙරාන් නගරයෙ දූවිලි පිරුණු කඳුපාරවල් දිගේ ඔලිව් ගස් අතරින් හුදෙකලාව වාහනය පදවාගෙන යන එක් මිනිසෙක්. ඔහුට මුණගැහෙන අනික් මිනිස්සු අතර ඇති වෙන සංවාද. Taste of Cherry සමන්විත වෙන්නෙ මේවයින්. එකම ප්‍රශ්නය වුණත් මිනිස්සු තම තමන් පැළඳ ඉන්න පාට කණ්නාඩි වලට පේන ආකාරය අනුව විග්‍රහ කරගන්න හැටි මේ චිත්‍රපටයෙන් අපූරුවට දැක ගන්න පුලුවන්. අත්දැකීම් එක්ක දැනුම අවබෝධය ලැබෙන තරමට මනුස්සයෙක් පරිණත බව ලබන්නෙ කොහොමද කියන දේ ඒ ආශ්‍රයෙන් වටහගන්න පුලුවන්. Taste of Cherry කියන්නෙ ඒවගේ වතාවක් නැරඹුව කෙනෙකුට නිකම්ම ආපහු නැගිටල යන්නෙ නැතුව මොකක්ද මම බැලුවෙ කියල තමන්ගෙ පරිකල්පනය මෙහෙයවල හිතන්න පොළඹවන සිනමාවක්. වර්තමානයෙදි වාණිජත්වයම අරමුණු කරගත්ත රසවින්දනාත්මක චිත්‍රපට වැඩියෙන් නිර්මාණය වෙන යුගයක ඒ ජනප්‍රියවාදී සළුපිලි උනා දමල ජීවිතේ ඒ අයුරින්ම දකින්න පොළඹවන Taste of Cherry වගේ කලාත්මක සිනමාපට මේ වෙළඳ ඝෝෂාව ඇතුළෙ සැඟවී යන්න ඉඩ නොතැබිය යුතුයි කියල මම හිතනව.
Where is the friends home? (1987)
පුංචි අහමඩ් දුවගෙන ගියා. එයාට පුලුවන් උපරිම වේගයෙන්. ආපහු හැරී නොබලාම. මොහොතකට වත් නොනැවතී. එයාගෙ අතේ තිබ්බ සටහන් පොතක්. ඒකත් අතින් අරගෙන රළු ගල් පොලව මතින් එයා දිව්ව. වංගු ගැහි ගැහි පාර තවත් ඈතට ඇදුණ. ඒත් අහ්මඩ් ඒ පාර දිගේ දිව්ව. කන්ද උඩින්, ඔලිව් ගස් ගොන්න මැද්දෙන්. නගරය දක්වාම. එයා හොයා යමින් හිටිය ඒ නගරය. එයා හොයා යමින් හිටිය එයාගෙ මිත්‍රයව. ඒත් එයා ඉන්නෙ කොහෙද? මේ නගරෙ එයා ඉන්න බව අහමඩ් දැනගෙන උන්නත් හරියටම කොතනද කියන්න එයා දන්නෙ නෑ. කෙළවරක් නැති ගෙවල්, කඩ වීදි මේව අතරෙ කොතනක හරි එයා ගෙ යාලුව ඉන්නම ඕන.
ඒත් ඇයි අහමඩ් තමන්ගෙ යාලුව හොයාගෙන දිව්වෙ? මේතරම් හදිස්සියකින්? යාලුවයි එයයි දෙන්නම හිටියෙ ඉසකෝලෙ එකම පන්තියෙ. එකලඟ, එහාපැත්ත මෙහා පැත්ත පුටුවල. යාලුවට දෙපාරක්ම ගෙදර වැඩ කරන් එන්න බැරි වුණ නිසා පන්තියෙ ගුරුතුමා එයාට බොහොම තදින් බැණවැදිල තිබ්බ. තුන් වෙනි වතාවටත් ගෙදර වැඩ කරන් ආවෙ නැත්තන් එයාව පන්තියෙන් එළියට දාල තියනව කියල ගුරුතුමා තදින්ම යාලුවට තර්ජනය කළා. ඉතින් එදා වැරදීමකින් එයා යාලුවගෙ සටහන් පොත අරගෙන ඇවිත් කියල අහමඩ් දැක්කෙ සුපුරුදු විදිහට ඉස්කොලෙ ඉවර වෙලා ගෙදර ආවට පස්සෙ. අදත් යාලුවට ගෙදර වැඩ කරන්න වෙන්නෙ නෑ. හෙට නං ගුරුතුමා යාලුවාට හොඳටම බනීවි. එයාට කිව්ව වගේ පන්තියෙන් එලියට දමාවි. එහෙම වෙන්න දෙන්න බෑ. එයා මගෙ යාලුව. මේ දැන්ම කොහොම හරි යාලුවගෙ ගෙදර හොයාගෙන ගිහින් එයාට පොත දෙන්න ඕන. යාලුවගෙ ගෙදර තිබ්බෙ කොයි නගරෙද කියල අහ්මඩ් දැනගෙන හිටියත් ඒ නගරෙ හරියටම කොතනද කියන්න අහ්මඩ් දැනගෙන උන්නෙ නෑ. අනිත් එක එයාගෙ අම්ම එයාට ගෙදරින් එලියට බහින්න දුන්නෙත් නෑ. "ඉස්කෝල වැඩ කරල පාඩුවෙ සෙල්ලමක් කරගෙන ඉන්න" අහමඩ් ගෙ අම්ම එයාට කිව්ව එහෙම. ඒත් අහමඩ්ට නම් කොයි විදිහකටවත් පාඩුවෙ ඉන්න පුලුවන් කමක් තිබ්බෙ නෑ. ඇයි. එයා වැරදිලා එයාගෙ යාලුවගෙ පොත ගෙදර ගෙනාව නිසා අද යාලුවට ගෙදර වැඩ කරන්න වෙන්නෙ නෑ. හෙට එයාට සිද්ද වෙනව ඒකට දඩුවම් විඳින්න. එහෙම වෙන්න දෙන්න බැ. වටපිට බලල අම්ම ලගපාතක නැති බව සැක හැර දැනගත්ත අහ්මඩ් යාලුවගෙ පොතත් අරගෙන වේගයෙන් දුවන්න පටන් ගත්ත. එයා ඉන්න තැනක් නොදැන. ඒත් කොහොම හරි හොයාගැනීමේ අරමුණෙන්.
අබ්බාස් කිරොස්තාමි ගේ Where is the friends home ? (1987) ඉරාන සිනමාව ලෝකයට හදුන්වාදෙන්න මුල්තැනක් ගත්ත පුරෝගාමී නිර්මාණයක් බව අද හඳුන්වනව. 70, දශකයේ ඉරානය තුළ සිද්ධවුණ දේශපාලන පෙරළියත් එක්ක ඉරාන සිනමාවේත් විප්ලවීය පෙරළියක් සිදුවුණා. යුරෝපයේ ඉතා දියුණු මට්ටමක තිබුණු කලාත්මක සිනමාවෙ අනුප්‍රාණයෙන් ඉරාන සිනමාකරුවන් තම රටේ දේශපාලන සංස්කෘතික වාතාවරණයන් සිනමාවට ගෙන එන්න පටන් ගත්‍ත. අබ්බාස් කිරොස්තාමි එතැනදි ඉතාම වැදගත් කාර්‍යභාරයක් කල සිනමාකරුවෙක් විදිහට හඳුනා ගැනෙනව. ඔහුගෙ Where is the friends home ? චිත්‍රපටය ලොව පුරා සිනමා විචාරකයන්, රසිකයන් අතින් පැසසුමට ලක්වුණා. ඉන්පස්සෙ ඔහු මේ චිත්‍රපටයට මුල් වෙන koker ගම් ප්‍රදේශය පසුබිම් කරගෙන තව සිනමාපට දෙකක් නිර්මාණය කරනව. Life and nothing more (1992), Through the olive trees (1994). මේ චිත්‍රපට ත්‍රිත්වය Koker trialogy නමින් හඳුන්වනව.
අහමඩ් දුවන හැටි බලන් හිටපු වැඩිහිටියෙක් සෑහෙන දොෂාරෝපණයක් කලා. දැන් කාලෙ පොඩි උන්ගෙ නැහැදිච්ච කම් ගැන. උන්ට හොදට ගහල හදන්න ඕන. එතකොටයි උන්ට විනයක් ඇතුව වැඩකරන්න පුරුදුවෙන්නෙ. සිරිත් විරිත් අපේ සංස්කෘතිය මේ දරුවන්ට කියල දෙන්න ඕන. එතකොට තමයි ඒව පවතින්නෙ. ඒකයි මේ වැඩිහිටිය ගෙ අදහස. අහමඩ් දුවන්නෙ මේ ගතානුගතික සීමාවන් කඩාබිඳ ගෙන. හදවතේ නීතිය වෙන කිසිම දේකට වඩා ඉහළ බව කියමින්. තවත් කෙනෙක් වෙනුවෙන් යමක් කරන්න හැකි නම් ඒක ඒ මොහොතෙම කළ යුතු බව කියමින්. අපි අවට සමාජය ලෝකය වඩා යහපත් තැනක් බවට පත්කරන්න අපිට හැකිවෙන්නෙ එහෙමයි. පුංචි දරුවෙක් අපිට කියා දෙන ලොකු කතන්දරේ අන්න ඒකයි.
No comments:
Post a Comment