ඉරාන සිනමා ලෝකය ජාත්‍යන්තරය ට ගෙනගිය සිනමාවේදී මජීඩ් මාජිධි
Mjid Mjidi - The great film maker who took Iranian Cinema to the International Stage
ඉරාන සිනමාව, මජීඩ් මජීඩි සහ Children Of Heaven චිත්‍රපටය පිළිබඳ ව කෙරෙන විස්ලේෂණයක් මේක. විශේෂයෙන් ම ඉරානවාසීන්ගේ සමස්ථ ආත්මය කොහොමද සිනමා තිරයකින් දකින්නෙ කියන කාරණය තමයි මේ ලිපියෙදි කතා කරන්නෙ. ඉරාන සිනමාව කියන්නෙ ලෝකයේ විවිධ රටවල් අතරින් කලාත්මක ම සිනමාවක්. ඒකට හේතුව විදිහට අවිවාදයෙන් ම පිළිගන්න පුලුවන් ඉරාන සිනමාවෙ තියෙන යථාර්ථවාදය, අධ්‍යාත්මික ගැඹුර සහ සංස්කෘතික බළපෑම. ඇත්තට ම ඉරාන සිනමාව කියන්නෙ ඉරාන සමාජයේ කැඩපතක්. සුපර් හීරෝලා වැහි වැහැපු සිනමාවක් නෙවෙයි ඉරාන සිනමාව.
මේ ලිපියෙදි අපි කතා කරනවා ඉරාන සිනමාවට ලැබිලා තියෙන මේ අනන්‍යතාව විකාශනය වෙච්ච විදිහ ගැන. ඒකට මම මෙතැනදි උදව් කරගන්නවා ලෝකයේ සුප්‍රසිද්ධ ඉරාන චිත්‍රපටයක් වූ Children Of Heaven සහ එහි අධ්‍යක්ෂක මජීඩ් මජීඩිගේ සිනමා භාවිතය. ඒ වගේම ඉස්ලාමීය ඉගැන්වීම් හරහා මජීඩ්ගෙ සිනමාව පෝෂණය වූ ආකාරයත් කෙටියෙන් විමසීමට ලක් කෙරෙනවා.අපි මුලින් ඉරාන සිනමාවේ ඉතිහාසය දෙස බලමු.
ඉරාන සිනමාව පර්සියානු සාම්ප්‍රදායික කතාන්දර කීමේ කලාවේ ම දිගුවක්. මේ සිනමාවෙ අක්මුල් බලාගන්න පුලුවන් අරාබිකරයේ ජනකතා අතරින්. කොටින්ම ඉරානය ඇතුලු පර්සියානු සංස්කෘතියේ ප්‍රධාන ම අංගයක් තමයි කතාන්දර කීම. ඉරාන ප්‍රේක්ෂකාගාරයට සිනමාව විවර වෙන්නෙ මෙන්න මේ සංස්කෘතිකව පොහොසත් කතන්දර කලාව විසින් ලබාදෙන පදනම හින්දා.1900-1979 අතර කාලය කියන්නෙ ඉරාන විප්ලවයට කලින් කාල පරිච්ඡේදය. ඉරාන විප්ලවය කියන්නෙ ඉරානයේ සංස්කෘතික, භූ දේශපාලන, ආගමික වගේම ආර්ථික කලා ක්ෂේත්‍රයන්වලත් හැලහැප්පිලි ගණනාවක් වෙච්ච කාලයක්. ඉරාන විප්ලවයට කලින් තමයි ඉරානයේ සිනමාව බිහිවෙන්නෙ.
ඉරානයේ පළමු චිත්‍රපටය 1900 වසරේදී මිර්සා ඊබ්‍රහීම් ඛාන් විසින් නිපදවනවා. මේක එක්තරා ආකාරයක චිත්‍රපටයේ පූර්ව ස්වභාවයක්. මොකද වර්ණ, හඬ, සංස්කරණ විධි නොමැති සිනමාවක්. 1930 දශකය වෙද්දි පර්සියානු මිත්‍යා කතා, ජනකතා සහ පර්සියන් සාහිත්‍යයෙන් පුනර්ජීවනය ලබපු කතානාද චිත්‍රපට වගේම නිහඬ චිත්‍රපට විශාල ප්‍රමාණයක් ඉරානය තුළ හැදුනා. 1960-70 දශක තමයි ඉරාන සිනමාවෙ නව අත්හදාබැලීම් සහිත වේගවත් ම කාලය.මේ කාලෙදි The Cow (1969) සහ Qeysar (1969) වගේ සමාජ යථාර්ථය ගැඹුරින් ප්‍රශ්න කරන සිනමාපට නිපදවෙන්න පටන් ගත්තා. මේක සාම්ප්‍රදායික කතා කලාව මත දුවපු චිත්‍රපටයට කරපු අභියෝගයක්. මොකද මෙතනින් පස්සෙ වාණිජ චිත්‍රපට වෙනමත්, සම්ප්‍රදායට අභියෝග කළ කලාත්මක සිනමාව වෙනමත් බිහිවුනා. ලංකාවෙදිත් මේ පරිණාමනය සිද්ධ වෙච්ච කාලයක් මේක.
1979 ඉරානයේ ඉස්ලාමීය විප්ලවයෙන් පස්සෙ ඉරාන සිනමාව දැඩි පාලනයකට නතුවුනා. ඉරාන රජයේ සහ ආගමික අධිකාරිය විසින් නියාමනයට ලක් කරපු සිනමාවක් තමයි මේ මුල් කාලයේ තිබුනෙ. ඒ නියාමනයට වැඩියෙන්ම අහු වුනේ කාන්තාවන් සම්බන්ධ කතා සහ දේශපාලනික ගවේෂණ සහිත චිත්‍රපටි තමයි. හැබැයි මේකෙන් තවත් දෙයක් සිද්ධ උනා. සෘජුවම ලිංගිකත්වය, කාන්තාව, දේශපාලනය නිරූපණය කරන්න බැරි හින්දා ඉරාන සිනමාකරුවා සංකේතවාදී සිනමාවකට ගියා.
මෙන්න මේ සංකේතවාදී අත්හදාබැලීම්වල ප්‍රතිපලය උනේ වඩාත් කාව්‍යාත්මක, ව්‍යංග්‍ය, අධ්‍යාත්මික තලයක සිනමාවකට සිනමාකරුවා පෙළඹීම. විශේෂයෙන්ම අධ්‍යක්ෂකවරුන් පෙළඹුනා ඉතාම ක්ෂුද්‍ර කතාන්දර තමන්ගෙ සිනමාපටවලට තෝරාගන්න. ඉතා කුඩා සිද්ධියක්, කුඩා භෞතික වස්තුවක්, කුඩා උත්තේජනයක් හරහා මේ චිත්‍රපටවල සමස්ථය පෙන්නුම් කෙරුවා. ඒ වගේම කාන්තාවන් සහ දේශපාලන මතයන් ගැන දැඩිව පාලනයක් තිබුනු හින්දා කුඩා දරුවන් මේ චිත්‍රපට බොහොමයක ප්‍රධාන චරිත බවට පත්වුනා. ඒ හරහා සමාජ දේශපාලන කතිකාව වඩාත් ගැඹුරු තලයකින් පෙන්වන්න උත්සාහ ගත්තා.කොටින්ම ඉරාන සිනමාව වාරණය වෙද්දි සිනමාකරුවා මුවහත් වූ බව තමයි පේන්න තියෙන්නෙ.
මේ තත්ත්වය මැද ඉරානයේ මිනිස්සුන්ගෙ එදිනෙදා ජීවන අරගලය, වැඩකරන පංතියේ පීඩනය, ඒ වගේම ග්‍රාමීය ජනයාගේ දරිද්‍රතාවය සහ සමාජ තත්ත්වය ලෝකයට විවර කරන කවුලුවක් බවට ඉරාන සිනමාව පත්වුනා. මේ කාලය හඳුන්වන්නෙ ඉරාන සිනමාවේ “ගෝලීයකරණ යුගය“ විදිහට. 1984 ත් 2010 ත් අතර කාලයේ තමයි මෙන්න මේ ඉරානය ලෝකයට ගෙනියන සිනමා යුගය පැවතුනේ. මේ කාලය තුළ ඉරාන චිත්‍රපටවලට ලෝකය පුරා ප්‍රේක්ෂක අවධානය ලැබුනා. විචාර ලියැවුනා. මේ ලෝක අවධානයත් එක්ක ළමුන් කේන්ද්‍රකරගත් දේශපාලනික සිනමාව තවත් වර්ධනය උනා. මොකද ඒ නිර්මාණාත්මක ක්‍රමවේද ලේසියෙන් වාරණයට අහු උනේ නෑ.මෙන්න මේ චිත්‍රපටවල ගැඹුරු තේමාවන්, සංකේතාත්මක චරිත සහ සිදුවීම්, ඒ වගේම නිර්මාණශීලී කතාන්දර කීමේ ක්‍රමවේද කූටප්‍රාප්තියට පත්වුනා.දැන් අපි බලමු මේ සිනමා කාලසීමාව තුළ අපේ ප්‍රධාන අවධානය දිනාගත් සිනමාකරුවා, මජීඩ් මජීඩි ස්ථානගත වන විදිහ ගැන.
මජීඩ් මජීඩි උපදින්නෙ 1959 ටෙහෙරාන් නගරයේදි. ඒ වගේම නූතන ඉරාන සිනමාවෙ ඉන්න මානුෂවාදීම සිනමාකරුවා විදිහට ලෝකය හඳුනාගන්නෙ මජීඩ් ව. ඔහු මුල් කාලයේ දී වේදිකා නාට්‍ය නලුවෙක්. රඟපෑම පටන් ගන්නෙ යොවුන් අවධියේදිමයි. පසුකාලයේදි මජීඩ් ඉතාම සරළ කතාන්දර හරහා අධ්‍යාත්මික තලයේ දයානුකම්පාව වෑහෙන චිත්‍රපටකරණයකට අත තිබ්බා.
මජීඩ්ගෙ සිනමාව සෘජුව ම දේශපාලනික දෘෂ්ටිවාද නියෝජනය කරන්නෙ නෑ. ඔහු පෙන්වන්නෙ මිනිස් ජීවිතවල ක්ෂුද්‍ර අවස්ථා. ඒ වගේම සදාචාර වටිනාකම්. අධ්‍යාත්මික ගුණ වගාවන්. මේ බොහෝ ඒවා කුරාණයෙන් ලද අභාසයන්. ඔහු එක්තරා ඉන්ටවීව් එකකදි කියනවා “ඔබ නිවැරදි මුසල්මානුවෙක් නම්, ඔබ හදන චිත්‍රපටවලට දෙවියන්වහන්සේ තමයි පාට දෙන්නෙ“ කියලා. ඔහු කියන්නෙ තමන් හිතාමතාම කුරානය චිත්‍රපටවලට ගේනවා නෙවෙයි කියලා. මනුෂ්‍යත්වය මත ක්‍රියාකරද්දී ඒ බළපෑම ඉබේම චිත්‍රපටවල ලැබෙනවා කියලා.
මජීඩ් මහා විසාල බුද්ධි කලම්බනයන් කරන සිනමාකරුවෙක් නෙවෙයි. ඒකයි ඔහු ප්‍රබල. මජීඩ්ගෙ චිත්‍රපට තේරුම්ගන්න දාර්ශනියකයින් ළඟට යන්න අවශ්‍ය නෑ. විචාරකයින්ගෙ කතා අහන්න අවශ්‍ය නෑ. බලන තත්පරයෙන් අපිට වැටහෙනවා මෙතෙක් කල් අපි නොදැන හිටපු සමාජ යථාර්ථයන්වල ගැඹුර. ඒ වගේම සංකීර්ණ සංකේත භාවිතයත් මජීඩ් අතාරිනවා. ඒ වෙනුවට ඔහු යොදාගන්නෙ යුනිවර්සල් සංකේත. ඒ කියන්නෙ දැක්ක ගමන් ලෝකයේ ඕනෑම රටක කෙනෙක්ට වටහාගන්න පුලුවන් කතාන්දර. මිනිස්සුන්ගෙ එදිනෙදා ජීවිතවලින් උපදින සරළ කතාන්දර.
මජීඩ් මජීඩිගෙ චිත්‍රපට සියල්ල ම වගේ ගත්තොත් ඒවායේ මූලික ලක්ෂණ කීපයක් බලාගන්න පුලුවන්. ඒ චිත්‍රපටවල ප්‍රධාන චරිතය හෝ කේන්ද්‍ර කතාව තියෙන්නෙ ළමයෙක් වටා. ලෝකයේ ඕනැම ළමයෙක් වගේම මේ ළමයි ඉතාම අහිංසකයි. ඔහුගෙ චිත්‍රපටවල පාත්‍ර වර්ගයා අපිට ඕනෑම තැනක හමුවන සාමාන්‍ය දුප්පත් මිනිස්සු. ඒ වගේම මේ මිනිස්සු තමන්ගෙ අභිමානය වෙනුවෙන් දුප්පත්කම සඟවගන්න සටන් කරන අය. ඒ වගේම ග්‍රාමීය ප්‍රදේශවල සමාජ විෂමතා. නාගරික සමාජයේ දැඩි බව. සදාචාර වටිනාකම්. මෙන්න මේවා අඩුවැඩි වශයෙන් මජීඩ්ගෙ සෑම චිත්‍රපටයක ම අන්තර්ගතයි.
Baran (2001), The Color of Paradise (1999), The song of Sparrows (2008) වගේ චිත්‍රපට ලංකාව තුළත් අතිශය ජනප්‍රිය උනේ ඉහත හුරු පුරුදු ලක්ෂණ සහිත තේමාවන් තිබුනු, සරළමතික කතාන්දර හින්දා. ඒත් මේ කතාවලින් මතුකරන හෘදයාංගම සංවේදීකම් වඩාත් තදබල ලෙස ප්‍රේක්ෂකයා වෙළාගත්තා. මේ බොහෝ චිත්‍රපටි කලාත්මක භාවිතය අතින් ඉතාලි සිනමාවට නෑකම් කියනවා.
මජීඩ්ගෙ ප්‍රවේශය ස්පිල්බර්ග්ගෙ ප්‍රවේශයෙන් වෙනස් උනාට, ඔවුන් දෙන්නාම ගමන් කරන්නෙ එකම අරමුණකට. ඒ තමයි යුනිවර්සල් වැලිව්ස් ගැන ඉලක්කය. ඔවුන්ගෙ චිත්‍රපට එක කලාපයකට විතරක් තේරෙන, එක කලාපයක මිනිස්සුන්ට විතරක් අදාල ඒවා නෙවෙයි. ලෝකෙ හැම මනුස්සයෙකුගෙම ජීවිතවල කොටස් මේ අය සිනමාවෙදි භාවිත කෙරුවා.මේ ලිපියේදී තෝරාගන්නා විශේෂ චිත්‍රපටය Children of Heaven (1997) දිහාට හැරෙන්න දැන් වෙලාව හරි. පසුබිම් කතාව ප්‍රමාණවත්.
මුලින් කිව්වා වගේ මේ චිත්‍රපටයත් ඉතා සරළ කුඩා භෞතික වස්තුවක් වටා තමයි ගෙතෙන්නෙ. සපත්තු යුගලක් වටා තමයි කතාව හදලා තියෙන්නෙ. ඒත් මේ චිත්‍රපටය හුදු ‘අස්ථානගත වූ සපත්තු දෙකක කතාවක් නෙවෙයි‘. ඒක කුටුම්භයක වගකීම් ගැන කාව්‍යාත්මක භාවනාවක්. කැපකිරීම් ගැන කතාවක්. ඒ වගේම ප්‍රශ්නවලට මුහුණ දීමේදී ළමයින් තුළ හැංගිලා තියෙන දරාගැනීමේ ශක්තිය ගැන හෙළිදරව්වක්.ඒ වගේම මේ චිත්‍රපටය තමයි ඇකඩමි සම්මාන උළෙලේ හොඳම විදෙස් භාෂා චිත්‍රපටය සඳහා නිර්දේශ වූ ප්‍රථම ඉරාන චිත්‍රපටය.
මේ චිත්‍රපටයෙදි අපිට හමුවෙනවා අලී සහ සහරා නම් කුඩා ළමයි දෙන්නෙක්. මේ දෙන්නා අයියයි නංගියි. අලීට වයස අවුරුදු 9 යි. ඔවුන් ටෙහෙරාන් නුවර නාගරික දුප්පත් පවුලක ළමයි. අලී අතින් මේ නංගිගෙ සපත්තු දෙක නැතිවෙනවා. නංගිගෙ සපත්තු දෙක හොඳටම කැඩිලා හින්දා අලී ඒක මහන්න අරන් යනවා. මහගෙන එන අතරතුර තමයි මේක නැතිවෙන්නෙ.මේ දෙන්නා පසුව එකඟතාවයකට එනවා. ඒ අලීගෙ සපත්තු දෙක දාගෙන සහරා උදේ ඉස්කෝලෙ යන්නත්, අලී හවස පාසලට යන්නත්. මොකද දෙමව්පියන් ඉන්නෙ ප්‍රශ්න වැළක. එක දෙබසකදි අලී කියනවා ‘මම තාත්තගෙන් ගුටිකන්න නෙවෙයි බය. තාත්තාට සපත්තු දෙකක් අරන් දෙන්න සල්ලි නැති හින්දයි සපත්තු නැතිවූ බව තාත්තට කියන්න ඕන නැත්තෙ‘ කියලා. සහරා පාසැල ඉවර වූ ගමන් ම නගරය හරහා වේගයෙන් දුවනවා අලී ඉන්න තැනට. සපත්තු දෙක අලීට දෙනවා. අලී සපත්තු දෙක දාගෙන ඉස්කෝලෙට දුවනවා. පයින් ම. දුර ගෙවාගෙන. මෙන්න මේ අයියයි, නංගියි සපත්තු හුවමාරු කරන අවස්ථාව දවසින් දවස ඔවුන් අතර තියෙන සහෝදර ප්‍රේමය, ඉවසීම, සදාචාර වටිනාකම් එක්ක මුහුකරලා අපිට පෙන්වනවා.
මේ චිත්‍රපටයේ දර්ශන තුළ සංස්කෘතික සහ ආගමික යටිතලයක් හොඳින් පේනවා. ඒ බළපෑම එන්නෙ බොහෝ ඉරාන සිනමාපටවල වගේ ම කුරානයෙන්. ළමයින්ගෙ ක්‍රියාවන් හරහා මතුවෙලා පේන්නෙ දරිද්‍රතාවය තුළ අභිමානයෙන් මනුෂ්‍යත්වය රැකගන්න හැටි, අවංකකම්, මානව ප්‍රේමය වගේ දේවල්. එක වෙලාවකදි මේ නැති වූ සපත්තු දෙක සහරාගේ පාසලේ දැරියක දාගෙන යනබව අලී සහ සහරා දැනගන්නවා. ඒත් ඒ දැරියගේ තාත්තා අන්ධ පුද්ගලයෙක්. ඒ බව දැනගත්තහම මේ දෙන්නා ම ඇයගෙන් සපත්තු දෙක නැවත ලබාගැනීමේ අදහස අතාරිනවා. පරිත්‍යාගය සහ සහානුකම්පාව ගැන ආගමික ඉගැන්වීම් මේ දර්ශනවල යටිපෙළේ තියෙයි.
මජීඩ් ළමයින්ගෙ දෘෂ්ටිකෝණයෙන් තමයි ඔහුගේ චිත්‍රපටවල විෂුවල්ස් සහ තේමාවන් ගොඩනඟන්නෙ. ළමයි කොහොමද එයාලා අවට තියෙන පරිසරය දකින්නෙ කියන එක අපිට අත්විඳින්න සලස්වනවා. මේ චිත්‍රපටයේ හමුවන වැඩිහිටි චරිත, සාමාන්‍යයෙන් අපි දකින ළමා චිත්‍රපටවල ඉන්න වැඩිහිටියන් වගේ ළමයින්ට අංචි අදින්නෑ. ඔවුන් සාමාන්‍ය වැඩිහිටියන් වගේම ළමයින්ට ආදරෙයි. මජීඩ් චිත්‍රපටයේ කුතුහලය අවුස්සන්න මිනිස්සුන්ව ඕනෑවට වඩා කලු කරන්න යන්නෑ. ඒ හින්දා ම මේ චිත්‍රපටය ඉමෝෂනලි බර වැඩක්. මොකද දුෂ්ට ක්‍රියාවක් දකිනවාට වඩා තදින් මිනිස් හිත් උණුවෙනවා සානුකම්පිත චරිත දකිනකොට.
ඒ වගේම මේ ළමයි දෙන්නා හරහා ඉරාන පාසැල් පද්ධතිය, ස්ත්‍රී පුරුෂ ප්‍රමුඛතා, සමාජය, ආදී දේ ගැන ගැඹුරු සාකච්ඡාවක් මතු කරනවා.අවසානයේදි අලී අන්තර් පාසැල් මැරතන් තරඟයකට සහභාගී වෙනවා. මොකද ඒ තරඟයේ තුන්වැනි තෑග්ගට සපත්තු කුට්ටමක් දෙනවා. අලීට ඕන ඒ සපත්තු කුට්ටම නංගිට දෙන්න.අලී තුන්වැනියා උනොත් ඔවුන්ගෙ ඉලක්කය ජයගන්න පුලුවන්. හැබැයි පැරදුනොත්, එහෙම නැතිනම් පළමුවැනියා උනොත්? අලී තරඟය දිනනවා උනාට අරමුණ දිනලා නෑ. මෙන්න මේ ගැඹුරු සමාජ සත්තාව මතුකරන්න චිත්‍රපටය සමත් වෙනවා. මම චිත්‍රපටයේ සිදුවීම කියලා මේ ලිපිය ස්පොයිල් කරන්නෑ. ඔබට පුලුවන් නරඹන්න.
ජීවිතයේ අපි අකමැති දේවල් සමහරවිට අපිට ඉතාම යෝග්‍ය දේවල් වෙන්න පුලුවන්. සමහරවිට අපි කැමති දේවල් අපි වෙත ළඟා නොවෙන්නෙ හොඳකට වෙන්න පුලුවන්. එහෙම නැතිනම් සමාජයක් විසින් අපිව වටකරගෙන අපිව මෙහෙයවන එක අපිට වදයක් වෙන්න පුලුවන්. මොකද සමස්ථ සමාජය විසින් ජයග්‍රහණයක්ය කියන දේ අපිට අනුව ජයග්‍රාහී ඉලක්කයක් නොවෙන්න පුලුවන් නිසා. මෙන්න මේ දර්ශනය කුරාණයේ එන පාඨ හරහා චිත්‍රපටයට ලැබුනු බව පැහැදිලිව පේන්න තියෙනවා.
Children of Heaven චිත්‍රපටය ඔස්කා සඳහා නිර්දේශ වීමත් එක්ක ඉරාන සිනමාව ලෝකයට නිළ වශයෙන් විවර උනා කිව්වොත් නිවැරදියි. විශේෂයෙන් ම මජීඩ් මජීඩිගෙ සිනමාවට පුලුවන් ලෝකයේ තියෙන විවිධ සංස්කෘතික බැමි ලේසියෙන් ම පනින්න. මොකද ඒවා මුලු ලෝකයට ම පොදුයි. අලී සහ සහරාගේ චරිත හරහා ලෝකයේ ඕනෑම ළමයෙක් නියෝජනය කළ හැකියි. මොකද ඒ අය තනි කෙනෙකුට විතරක් තියෙන සුවිශේෂ බලයක් හෝ ගුණයක් සහිත වෙනස් ළමයි නෙවෙයි.මේ වගේ ශක්තිමත් කතාන්දර සමඟ ඉරාන සිනමාව අද වෙද්දි ජාත්‍යන්තර තලයට පියනඟලා ඉවරයි.
1980 න් පසු කාලය තුළ විවිධ ජාත්‍යන්තර සිනමා උළෙලවල ඉරාන චිත්‍රපට වරින් වර ප්‍රදර්ශනය උනා. නිර්දේශ උනා. ජයග්‍රහණ ලබාගත්තා. මොකද ඉරාන සිනමාව අන්තර් සංස්කෘතික සිනමාවක්. අද වෙද්දි ඉරාන කෙටි චිත්‍රපට වගේම වාර්ථා චිත්‍රපටත් ජාත්‍යන්තර අවධානය දිනාගන්නා නිර්මාණ බවට පත්වෙලා තියෙන්නෙ. රාජ්‍ය තාන්ත්‍රික සංකේත බවටත් මේවා පත්වෙලා. ලෝකයේ බොහෝ රටවලදි (ලංකාවත් ඇතුලු ව) ඉරාන සිනමාපට ප්‍රදර්ශන පවත්වනවා. සමහර ඒවාට ඉරාන රජය සහ අනෙකුත් රටවල ආණ්ඩු පවා මැදිහත් වෙනවා.ඉරානයේ ඉන්න ප්‍රබල ම සිනමාකරුවෙක් වූ Abbas Kiarostami ඔවුන්ගේ සිනමාවේ දේශපාලනික දෘෂ්ටිවාදය සහ මහා සිනමාව ඔසවාගෙන යන අතරේ මජීඩ් මජීඩි විසින් සදාචාර යථාසත්තාව ඔසවාගෙන යන බව පැහැදිලි ව පේනවා. මජීඩි සෘජුව ම හදවතට ආමන්ත්‍රණය කරනවා. කුඩා ම සිදුවීම් තෝරනවා.
ඒ වගේම කියන්න ඕන මජීඩ් මජීඩි 2015 වසරේ හදපු Muhammed චිත්‍රපටය එහෙම ක්ෂුද්‍ර එකක් නෙවෙයි. අති විශාල කාස්ට් එකක් සහ ඓතිහාසික සිදුවීම් පෙළක් තියෙන දැවැන්ත සිනමාපටයක්. ඒකෙ නිරූපණය වෙන්නෙ මුහම්මද්තුමාගෙ ළමා කාලය. මේ චිත්‍රපටය සුවිසල් යුද්ධ, ජන සංක්‍රමණ, කුමන්ත්‍රණවලින් මැදි වූ කතාවකින් සමන්විත උනත් එතනදි පවා මජීඩි තෝරාගන්නෙ මුහම්මද්තුමාගෙ ළමා අවධිය. මේකත් ඔහුගෙ බලන්න ම ඕන චිත්‍රපටයක්.
ඉතින් අවසාන වශයෙන් කියන්න තියෙන්නෙ Children of Heaven කියන්නෙ ඉරාන සමාජය දිහා බලන්න පුලුවන් කවුලුවක්. හැබැයි කවුලුවක් විතරක් ම නෙවෙයි. ඒක ඉරාන සංස්කෘතිය, ඉරානයේ කතාන්දර කීමේ කලාව, අධ්‍යාත්මික වටිනාකම් සහ හර පද්ධතිය හරහා ගමන් කරන විශේෂ චාරිකා බස් රථයක් වගේ. පුංචි ළමයි දෙන්නෙක් සහ සපත්තු දෙකක් යොදාගෙන මානව ප්‍රේමය ගැන කළ මහා වියමනක්. සමාජ අසාධාරණයන්, දරිද්‍රතාවය, පවුල් වගකීම් ගැන කළ විවරණයක්. ඉරාන සිනමාකරුවා කුඩා ළමයෙකුගේ ඇසින් සංකීර්ණ සමාජ සංසිද්ධි නිරූපණය කිරීමේ කලාව කොයි තරම් ප්‍රගුණ කෙරුවාද කියන්න මේ චිත්‍රපටය හොඳම උදාහරණයක්.මජීඩි ප්‍රොපගැන්ඩා සිනමාකරුවෙක් නොවීම තමයි මේ තරම් අවංක සිනමා භාවිතයක රහස. මජීඩිට ඕන සමාජයට තමන්ගෙ දයානුකම්පාව පෙන්වන්න විතරයි. මුලු ලෝකයට ම පොදු ළමා අත්දැකීම් හරහා කුරානයේ එන සදාචාර වටිනාකම් ඔහු සිනමාවට ගේනවා.
ඉතින් මජීඩි කියන්නෙ සිනමාකරුවෙක් ම නෙවෙයි. ජාතීන් අතර පාලමක්. මනුස්සකම ගැන මානව හදවත්වල තියෙන විශ්වාසයේ රැකවලෙක්. ඉරාන සිනමාවේ මානුෂවාදී කොටස දරාගෙන ඉන්න බල කණුවක්.
No comments:
Post a Comment