සුප්‍රකට පර්සියානු කවි සාදි ෂිරාසිගේ කාලාන්තරවත් බුද්ධිය 21වන ශතවර්ෂයට අදාළ කරගත හැකි ආකාරය
The Timeless Wisdom of Saadi Shirazi and Its Relevance to the 21st Century
අප්‍රේල් 21 වන දා ට යෙදෙන සාදි සංවත්සරය වෙනුවෙනි
ඔහු කවියෙකි. ලේඛකයෙකි. විශිෂ්ට චින්තකයෙකි.නම කියූ පමණින් විශ්ව සාහිත්‍ය ක්ෂේත්‍රයකම දන්නා පිළිගත් සාහිත්‍යධරයකි. පර්සියානු බස කතා කරන කලාපයෙන් හා ඉරානයේ දේශ සීමා වලින් ඔබ්බට සිය කීර්ති නාමය විහිද වූ ඉරානිය උගතුන් කිහිපදෙනා ගෙන් කෙනෙකි. ඔහු සුන්දර ෂිරාසයේ සාදි නොහොත් මුස්ලිහුදීන් අබ්දුල්ලාහ් සාදි ෂිරාසි ය. සාදි හිජ්රි හත්වන සියවසේ මුල් භාගයේදී එනම් ක්‍රි ව. 1207-9 අතර කාලයේ දී ෂිරාසයේ දී උපත ලැබීය. ඔහුගේ වචන වලින් ම කිවහොත් ඔහු උපත ලැබුවේ සියලුදෙනා ම දේවධර්මාචාරවරුන් වූ පවුලකය. සාදි ගේ ළමා අවධියත්, තරුණ වියේ මුල් අවධියත් ගෙවී ගියේ ඔහුගේ උපන් ගම වූ ෂිරාසයේ ම ය. එහිදී ඔහුට සම කාලීන ඉගැන්වීම් හා විද්‍යාවන් පිළිබඳ පසුබිමක් ලැබිණි. අනතුරුව ඔහු වැඩි දුර ඉගෙනීම් සඳහා බැග්ඩෑඩයේ ".නිසාමියා" ට ගියේය. එහිදී වසර විස්සකට වැඩි කාලයක් ඉගෙනීමේ යෙදුණු ඔහු දේවධර්ම ශාස්ත්‍රය, හා සාහිත්‍යය ගැඹුරින් අධ්‍යනය කළේය. ඉන් අනතුරුව ඔහු දීර්ඝ සංචාරයක් අරඹුවේය.
ඔහු ඉරාකයේත්, සිරියාවේ ත්, උතුරු අප්‍රිකාවේත් සංචාරය කළේය. ඇතැමුන් කියන අන්දමට ඔහු මේ චාරිකාවේ දී ඉන්දියාවට ත්, අසර්බයිජානයත් ගොස් ඇත. සාදි මේ සංචාරයෙන් වටිනා අත්දැකීම් රාශියක් එක්රැස් කර ගත්තා පමණක් නොවේ. මෙහිදී ඔහුට මහා කවි මවුලානා ජලාලුද්දින් රූමි, ෂෙයික් සෆියුද්දීන්, ශම්ස් තබ්රිසි හා ඉන්දියාවේ අමීර් කොස්රෝ වැනි මහා පුරුෂයන් ද හමුවීමේ අවස්ථාව ලැබුණේය. නිජබිම කෙරෙහි පැවති ඇල්ම කරණ කොට ගෙන අවසානයේ දී ඔහු ෂිරාසයටම පෙරළා පැමිණියේය.ඒ හත්වන සියවස මැද භාගයේදී ය. නැතහොත් ක්‍රි.ව. 13 වන සියවසේ දී ය.
පොතපතේ උගැන්මෙන් හා ලැබූ අත්දැකීම් වලින් ද සිය සංචාරයේ දී දැන හඳුනා ගත් අනේක විධ පුද්ගලයින් කරණ කොට උකහාගත් සියලු දේ ඔහු පොත් දෙකක් ලෙස එළි දැක්වුවේය.ඉන් එකක් හිජ්රි වර්ෂ 655 දී දොරට වැඩි " බුස්තාන්" නොහොත් පලතුරු වත්ත ය. අනෙක හිජ්රි වර්ෂ 656 දී බිහිකළ " ගුලිස්තාන්" නොහොත් උද්‍යානයයි. ඉනික්බිති ඔහු සිය ජීවිතයේ අවසාන කාලය දක්වාම තවුස් ජීවිතයක් ගත කළේය. සාදි තම අනෙක් කෘතීන් එළි දැක්වූයේ මේ කාලයේ දී ය. "ගසල්" ගී පදමාලා, මාවායිස් නොහොත් ධර්මානුශාසනා , මර්සියා නොහොත් ශෝක ගී, රුබයියාත් නොහොත් ශ්ලෝක හා පර්සියානු, අරාබි යන දෙබසින් ම රචනා කළ " කසීදා"නොහොත් ප්‍රශස්ති ගී මේ අතර විය.
පර්සියානු සාහිත්‍යයේ විශිෂ්ටතම කවියෙකු වන සාදි ගේ කෘති, ශතවර්ෂ ගණනාවක් පුරා ලෝකය පුරා ජනතාවට ප්‍රභාවය ලබා දී ඇත. ඔහු හුදෙක් කවියෙකු පමණක් නොව, දාර්ශනිකයෙකු, සංචාරකයෙකු සහ මනුෂ්‍ය ස්වභාවය ගැඹුරින් අවබෝධ කරගත් චින්තකයෙකුද විය.මේවා ලියන ලද්දේ සියවස් ගණනාවක ට පෙර වුව ද , ඒවායේ අර්ථය සහ වැදගත්කම අද 21වන ශතවර්ෂයේ ද සම්පූර්ණයෙන්ම අදාළ වේ. සාදීගේ කෘතිවල මූලික කරුණ වන්නේ මනුෂ්‍ය හැසිරීම්, ආචාරධර්ම සහ සමාජ වගකීම් පිළිබඳ ගැඹුරු අවබෝධයයි. ඔහුගේ රචනා තුළ කරුණාව, යුක්තිය, නමස්කාරය , සහ ප්‍රඥාව වැනි අගනා වටිනාකම් ප්‍රමුඛ වේ. අද ලෝකය තාක්ෂණිකව ඉදිරියට ගමන් කරන අතර, ගෝලීය සම්බන්ධතා වැඩිවෙමින් පවතින අතර, සංස්කෘතික විවිධත්වය ද ඉහළ යමින් පවතින අවස්ථාවක, සාදීගේ මූලධර්මයන් අපට නවීන ගැටළු විසඳා ගැනීමට මාර්ගෝපදේශයක් සපයයි.
සාදි නිරතුරුවම අනෙකාගේ බුහුමනට ලක්වූ පුද්ගලයෙක් විය. ඔහු කථිකත්වයෙන් ද, ලේඛන ශූරතාවයෙන් ද, එක හා සමාන උසස් තැනක වැජඹුනේය. උස් පහත් භේදයකින් තොරව කව්රුත් ඔහුගේ ගුණ ගායනා කළහ. ඔහුගේ කවි හා කියුම් ලොව පුරා පැතිර ගිය අතර ඉන් ඔහුට ලැබුණු කීර්තිනාමය පිළිබඳ ව ද නොයෙක් වර සඳහන් කර ඇත. මේ ඔහු එසේ සඳහන් කර තිබූ අවස්ථා කිහිපයකි.
නැත එක් රැස් වී කිසි දින
සප්ත දේසේ මෙ දියතේ
එතුවදු සාදි ගේ කවි කියුම් පද වැල්
සියලු දෙස් හි රැව් නැගේ
දනී ඔබ මේ කියුම් වැල්
ඇදගන්නා බව ලෝකයා
ඇදගන්නා වැනි ය කස්තුරි
චීනයෙන් සපැමිණි ක්වාටනයෙකුගෙන්
වියත් බවට මා නම
පසිඳු වූයේ නම් දියත
ඒ ඔබ නම නිති
මා මුව රැඳුණු හෙයින් මැ යි
සාදි සිය නිජබිමේ පමණක් නොව ගුණයහපත්කම්, විචක්ෂණ භාවය නිසා මුළු ලොවම ප්‍රකට විය.
දුරු දෙසකින් කොරාසාන් වෙත
නෞකාවක් ඇදී එන සෙයින්
ඔහු පැදිවැල් ලෝ පුරා විසිරෙයි
දිය දහරක් සේ ගලා බසියි ..
සාදි අසමාන හා ප්‍රබල කවියෙකු වූවා පමණක් නොවේ. ඔහු තුන්වන නුවණින් හෙබි දේව ධර්මය, ආචාර ධර්මය, අභිධර්මය, සමාජ විද්‍යාවන් පිළිබඳ ව ද විශාරදයෙකු විය. අද ත් විද්‍යාමාන වන ඔහුගේ කෘතීන් මේ පිළිබඳ අගනා සාක්ෂිය වේ. ඔහු මේ සියලු දෑ අඩංගු රචනා ප්‍රබල ධර්මානුශාසනා, උපදේශාත්මක කතා, ගී පදමාලා, ප්‍රශස්ති ගී ස්වරූපයෙන් ඉදිරිපත් කළ අතර ඒවා ඉදිරිපත් කළ ආකාරය මේ කරුණු පිළිබඳ කෘතහස්ත බව මොනවට පෙන්වයි. ඔහුගේ බඳු විශිෂ්ට රචනා නිබන්ධනය කිරීම පහසු නැත. එහෙත් ඔහු ඒවා කාටත් පහසුවෙන් අවබෝධ කරගත හැකි සරල හා රසවත් බසකින් නිර්මාණය කළේය.
සාදි ගේ කෘතීන් අතුරින් බුස්තාන් සහ ගුලිස්තාන් ප්‍රසිද්ධ නිර්මාණය න් ය. ඒවා ඔහු ජීවත් වූ කාලයේ පටන් අද මේ දක්වා පර්සියානු භාෂාව කතා කරන කලාපයේ පාඩම් පොත් හැටියට භාවිතා කරන අතර ලෝකයේ සෑම ජීවමාන බසකටම පාහේ පරිවර්තනය කර ඇත
මේ ගුලිස්තාන් හි ප්‍රසිද්ධ කවි පෙලෙකි.
කිසිදු දිනෙක
කාලයේ ගමන ට හසු වී
සරත් සුළඟ ට වීයැකි
ශෝකය ට පෙරළි
නොයනු ඇත මේ උයන
මේ අලංකාරය ...
මේ ප්‍රීති ප්‍රමෝදය
පර්සියානු සාහිත්‍යය
පවතින තුරු
මල් ඵල දරනු ඇත
නිරතුරු ....
ගුලිස්තාන් සහ බුස්තාන් ලෞකික දැනුම සහ අභිධර්මය පිළිබඳ ඉදිරිපත් කරන අංග සම්පූර්ණ පාඩම් මාලාවක් බඳු ය. මේ කෘතීන් වල සාදි තමා පිළිබඳ අධ්‍යනය තුළින් ද, සදාචාර විධි, සද්ධර්මය, චරිත පිළිබඳ පුළුල් අවබෝධයක් හා අධ්‍යයනයකින් උකහා ගත් සාරය ගෙනහැර පායි. මධ්‍යස්ථ හා සමබර ආකල්පයක පිහිටමින් ද, අපේක්ෂිත අරුත ම දැනවෙන කියුම් යොදා ගනිමින් ද ඔහු මේ සියලු කරුණු සිත් ඇදගන්නා සුළු අන්දමින් ඉදිරිපත් කරයි. සාදි ආගමික නියාමනයන් කෙරෙහි ගරු සැලකිලි දැක්වුවා පමණක් නොව ඔහු අගතිය හා පටු මානසිකත්වය පිටු දැකීම ඔහුගේ චරිතයේ විශේෂ ලක්ෂණයයි. සියලු මිනිස් වර්ගයා කෙරෙහි කරුණාවක් දැක්වූ ඔහු සිය මිතුරා ට මෙන්ම හතුරා ට ද එක හා සමාන දයාවක් දැක්විය. සිය බඩගෝස්තරය පිණිස දහම දඩමීමා කරගත් කෲර පාලකයින් ට හා කෛරාටිකයින් ට හැර අන් කිසිවෙකු ට සාදි විරුද්ධ නොවීය. සාමය හා මානව හිතවාදය ගෙනෙන දූතයෙකු වශයෙන් හේ කටයුතු කළේය. පරමාදර්ශී ලෝකයක් පිළිබඳ ඔහුගේ දෘෂ්ටියේ දී මනුෂ්‍යයන් එකම සාරයකින් පැවතෙන එක සිරුරක කොටස් ලෙස ඔහු සැලකුවේය.
මානව වර්ගයා ගේ හා නිදහස පිළිබඳ සංකල්පයේ ඇති විශාල වැදගත්කමක් ඔහු දුටු අතර මානව සමාජයෙන් අසමගිකම් දුරලා සියලු ජාතීන් සමගි සම්පන්න ව ජීවත්වනු දැකීම ඔහුගේ පරම පැතුම විය. දුර්වලයින් හා අසරණයින් පිළිබඳ ව ඔහු සිය අනුකම්පාව පළ කළ අතර ඔවුන් රැක බලා ගැනීම හොඳ හිතැති මිනිසුන් හා ප්‍රතිසංස්කාරකයන් විසින් කළ යුතු යැයි පහත සඳහන් වදන වලින් කියා සිටියේය.
සාදි...
ඔබේ වදන් වැල් වල
මිහිරියාවේ තොරක් නැත
විහග ගීතයෙන්
පිරිතිරි ඇත ඔබේ නැන නුවණ
ඔබ ගායනා කළ
අනෙක් විහඟුන්
ගොළුව නිහඬ ව
බිම පතින වෙයි..
අනුන් දුක් මහන්සිය
නොතකයි නම් ඔබ
උරුමයක් නැත
මිනිසත් බවට වත් ....
සාදීගේ ප්‍රසිද්ධම පදයක් වන්නේ “මනුෂ්‍යයන් එකම ශරීරයක කොටස් වැනි අයයි” යන අදහසයි. මේ පණිවිඩය ලෝකය පුරා ප්‍රසිද්ධ වී ඇති අතර, එය අද දින ගෝලීය එකමුතුව සඳහා වැදගත් වේ. 21 වන ශතවර්ෂයේදී යුද්ධ, අසමතා සහ සමාජ විභේදන තවමත් පවතින අතර, සාදීගේ මෙම එකමුතුවේ අදහස අපට එකිනෙකා පිළිබඳ සංවේදී වීමට සහ සාමය සදහා එකට කටයුතු කිරීමට ආරාධනා කරයි.
ඔහුගේ කෘති නායකත්වය සහ පාලනය පිළිබඳවද වැදගත් පාඩම් ලබා දෙයි.ගුලිස්තාන් තුළ ඇති කතා මඟින්, සාධාරණත්වය, වගකීම සහ සත්‍යවාදය නායකයන්ට අත්‍යවශ්‍ය බව පැහැදිළි කරයි. අද දේශපාලනික සහ ව්‍යාපාරික ලෝකයේ, මෙම වටිනාකම් ඉතා වැදගත් වේ. සාදීගේ අදහස් අනුව, බලය භාවිතා කළ යුත්තේ ප්‍රඥාවෙන් සහ කරුණාවෙන් යුතු විය යුතුය.
තවද, සාදීගේ අධ්‍යාපනය පිළිබඳ අදහස්ද අද කාලයට අදාළ වේ. ඔහු විශ්වාස කළේ දැනුම ලබා ගැනීම පමණක් නොව, එය සමාජයට ප්‍රයෝජනවත් ලෙස භාවිතා කිරීම වැදගත් බවයි. අද තාක්ෂණික ලෝකයේ, තොරතුරු පහසුවෙන් ලැබෙන අතර, සාදීගේ මතය අපට දැනුම නිවැරදිව භාවිතා කිරීමට මඟ පෙන්වයි.
සාදී මනුෂ්‍ය සම්බන්ධතා සහ සන්නිවේදනය පිළිබඳවද ගැඹුරු අවධානයක් යොමු කරයි. ඔහුගේ කෘති තුළ කරුණාවෙන්, ගරුකමෙන් සහ අවබෝධයෙන් අන් අය සමඟ කතා කිරීමේ වැදගත්කම ඉස්මතු කරයි. අද සමාජ මාධ්‍යයන් සහ ඩිජිටල් සන්නිවේදනය ඉතා වැඩි වී ඇති කාලයක, මෙම පාඩම් ඉතා වැදගත් වේ.
එමෙන්ම, සාදීගේ සරල ජීවිතය පිළිබඳ අදහස් ද අද සමාජයට වැදගත් වේ. ඔහු අධික ලෝභය සහ භෞතිකවාදය පිළිබඳව අවවාද කරමින්, සන්සුන් සහ සමාන්‍ය ජීවිතයක් ජීවත් වීමට උත්සාහ කළ යුතු බව පෙන්වා දෙයි. අද ලෝකයේ, ආර්ථික තරඟය සහ ලෞකික සැප සෙවීම වැඩි වී ඇති අතර, සාදීගේ මෙම අදහස් මානසික සන්සුන්භාවයට උපකාරී වේ.
සාදි ගේ කෘති අතීතයට පමණක් සීමා නොවී, අද ලෝකයටද මග පෙන්වන ජීවන්ත මාර්ගෝපදේශයක රහස ඔහුගේ පොත් පිටු අතර වේ. ඔහුගේ මනුෂ්‍යත්වය, ආචාරධර්ම, නායකත්වය සහ සම්බන්ධතා පිළිබඳ අදහස් 21 වන ශතවර්ෂයේදීද ඉතා වැදගත් වේ.
මෙම කෘති නැවත නැවතත් කියවා ඒවා අපගේ ජීවිතයට අදාළ කරගන්නේ නම්, අපට සාමකාමී, යුක්තිසහගත සහ කරුණාවන්ත ලෝකයක් ගොඩනගා ගැනීමට හැකි මානසිකත්වය ක් ඇතිවීම නිසැකය. සාදි ගේ කාව්‍යයන් හා අනෙකුත් සාහිත්‍ය කටයුතු ලෝක සාහිත්‍යයේ ඉහළ තැනක වැජඹෙන බවට ද, ඔහුගේ උදාර සිතුවිලි මානුෂීය හැඟීම් හා කථිකත්වය සකල මානව වර්ගයාට ම බලපා ඇති බව ට ද ප්‍රශ්නයක් නැත. එමෙන්ම මෙම විශිෂ්ට චින්තකයා ගේ හා කවියා ගේ නෛසර්ගික ගුණාංග පර්සියානු සාහිත්‍යයේ පුළුල් බිමක ට ද, ඉරානිය මෙන් ම ඉරානිය නොවන කවීන් හා ලේඛකයින්ගේ සාහිත්‍ය කටයුතු වලට ද බලපෑ ඇති බැව් නිසැකය. ලොව මුළුල්ලේ සෑම යුගයක දි ම අමරණීය වන පුද්ගලයින් ගේ නම් අතර ඔහු ගේ නම ද නොමැකෙන අකුරින් ලියවී ඇත...



No comments:
Post a Comment