Monday, April 6, 2026

පර්සියාවේ බුමුතුරුණු කර්මාන්තය

 පර්සියාවේ බුමුතුරුණු කර්මාන්තය  - Carpet Industry in Persia 




ශතවර්ෂ ගණනාවක් තිස්සේ පර්සියානු කලාව ගැන ලෝකයා දැන සිටියේ එරට පලස් මගින්ය. අද දක්වා ම සේද හා ලෝම පලස් විවීමේ ප්‍රධාන රට ලෙස ඉදිරියෙන් සිටින්නේ ඉරානය යි. එරටට විදේශ විනිමය උපයා දෙන තෙල් නොවන භාණ්ඩ වලින් බුමුතුරුණු කර්මාන්තය ප්‍රධාන පෙළේ කර්මාන්තයකි. 


ආසියාතික සංචාරක ගෝත්‍රිකයන් මුලින්ම බිම අතුරන බුමුතුරුණු නිර්මාණය කළ බැව් සැළකේ. ඔවුනට දැඩි දුහුවිලි සහිත කර්කශ සහ සීතල ගෙබිම් වල අවහිරතාවය න් මග හරවා ගැනීම සඳහා මෙවැන්නක් අවශ්‍ය වීම එයට හේතුවයි. ලෝම හා රෙදි කැබලි එකට ගොතා සකස් කරන ලද ඇතිරිලි මෙම ප්‍රශ්නය ට පිළියමක් විය. දැනට පාවිච්චි කරන පලස් වල ආරම්භය ලෙස සලකනු ලබන්නේ මෙයයි. 


මුල් කාලයේ සිටම වෙළඳ භාණ්ඩයක් ලෙස පලස් වලට ප්‍රධාන ස්ථානයක් ලැබී තිබුණි. විශේෂයෙන් ම පර්සියානු පලස් අලංකාරයෙන් හා ප්‍රමිතියෙන් අනෙක් සියලු පලස් වලට වඩා ඉදිරියෙන් ම ප්‍රකට ව පැවතුනි.මෙතෙක් සොයාගෙන ඇති  ඓතිහාසික  තොරතුරු අනුව ඉරානයේ පලස් විවීම ආකිමිනිඩ් කාල වකවානුවේ එනම් 2500 කට ඉහත දී පටන් ම ආරම්භ ව ඇත. 




පර්සියානු බුමුතුරුණු ගැන ග්‍රීක හා රෝම ඉතිහාස වල ද තොරතුරු රැසක් සඳහන් ව ඇත. මුල් කාලයේ පර්සියානු අධිරාජ්‍යයේ පිහිටි ලිඩ් හි අගනුවර වූ දැනට තුර්කියේ සර්ද් හි බුමුතුරුණු කම්හලක් තිබූ බැව් කිහිප වරක් ම ඉරානය ට පැමිණ ඇති සෙනෆොන්  ( Xenophon) නම් ඉතිහාසවේදියා අන් නබාස් නම් තම සුප්‍රකට කෘතියේ සඳහන් කරයි. 


පුරා විද්‍යාත්මක සොයා ගැනීම් මගින් මේ කරුණු තව දුරටත් සනාථ වේ. ආකිමිනිඩී රාජ වංශය ට අයත් විචිත්‍ර පලස් හා බුමුතුරුණු මධ්‍යම සර්බියාවෙන් සොයා ගනු ලැබ ඇත.දැඩි ශීත දේශගුණය නිසා ඒවා ඉතා හොදින් ආරක්ෂා වී තිබුණි. ඒවායේ ඇති අශ්වාරෝහක රූප හා ඔවුන්ගේ විශේෂිත තොප්පි වලින් පෙන්නුම් කරන්නේ ඒවා පර්සියානු පලස් බවයි. ඒවායෙහි කෙළවර වල පෙනෙන්න ට ඇති අත්තටු සහිත සත්වයින් පර්සිපෝලිස් නටබුන් සිහි ගන්වයි. 



සසානියානු යුගයේ එනම් ක්‍රී ව 6 වන හා 7 වන සියවසේ ජාත්‍යන්තර වශයෙන් ප්‍රකට වූ පලස් කර්මාන්තය ක් ඉරානයේ තිබූ බව එහි පුරාණ වාර්තා වලින් පෙනේ. එකල රජ මාලිගා වල හා ප්‍රභූ වරුන්ගේ නිවෙස් වටා විසිර තිබූ පලස් රන් රිදී මිශ්‍රිතව ගෙත්තම් කර තිබූ අතර මුතු හා මරකත මැණික් වලින් සරසා තිබිණි. ඊට පෙර තිබූ ගෙත්තම් තිර මෙන් නොව එම කාලයේ කුළුණු වලට යොදන බුමුතුරුණු නිර්මාණය කිරීම එකල බහුල වශයෙන් තිබූ බව පෙනේ. 


සසානියානු යුගයේ තනන ලද සුප්‍රකට හා අලංකාර බුමුතුරුණු පිලිබද ව අරාබි ලියකියවිලි වල සඳහන් වේ. ටෙසිපෝන් ගේ මාලිගයේ විශාල රැස්වීම් ශාලාවේ එය අතුරා තිබූ අතර ශීත කාලයේ බුමුතුරුණු ලෙස ද එය හැඳින්විණි. එහි අලංකාර උද්‍යානයක පින්තූරයක් ගොතා තිබූ නිසා ශීත කාලයේ දී රජු ට වසන්තයේ සුවය විඳින්න ට හැකි විය. මෙම බුමුතුරුණු නිර්මාණය කීර්ම සඳහා තෝරා ගන්නා ලද්දේ ඉතා වටිනා මෙන්ම අනර්ඝ දේවල් ය. රත්රන්, රිදී, හා මැණික් ආදිය මේ සඳහා යොදා ගන්නා ලද අතර බුමුතුරුණු වල ප්‍රමාණය අඩි 84 ( මීටර 25.65) පමණ විය. 




ඉස්ලාමයේ ආගමනයත් සමඟ ම සුඛෝපභෝගී භාණ්ඩයක් ලෙස පැවති බුමුතුරුණු ක්‍රියාකාරී ජීවිතයේ අත්‍යවශ්‍ය භාණ්ඩයක් ලෙස සලකන්නට විය. එදා සිට අද දක්වා ම බුමුතුරුණු මස්ජීඩ් වල එළා ඇත. සිලූ සහ නැමදුම් පලස් විශාල වශයෙන් නිෂ්පාදනය කරන ලද්දේ මේ කාලයේ දීය. සිලු ( Zilu) යනු කෙළවරව ල කුෆී ශෛලිය අරාබි අක්ෂර අලංකාර සටහන් කරන ලද මැහුම් සහිත ව විශේෂයෙන් ම මස්ජිද වල එලන බුමුතුරුණු ය.


පිරිසිදු පර්සියානු රාජ වංශයක් වන සෆාවි රජ  වංශය පර්සියානු කලාවේ නවෝදයක් ඇති කිරීමට සමත් වූහ. ෂා  තහ්මසබි පාලන සමයේදී සැරසිලි කලාව එහි උච්චස්ථානයට පත් වූ අතර විවිධ බුමුතුරුණු තේමාවන් ඉදිරිපත් විය. මෙම කාලයේ සිටම බුමුතුරුණු තුනක් ඉතා ප්‍රසිද්ධ විය. මිලාන් හි මහා දඩයක්කාර බුමුතුරුණු, අර්දබිල් බුමුතුරුණු ව,  වියානාහි පට දඩයක්කාර බුමුතුරුණු ව( මෙය කලක් මහා පීටර් රජුට අයත් විය) එම බුමුතුරුණු යි. 


බුමුතුරුණු වල අලංකාර හැඩය, ඒවායේ මෝස්තර විවිධාකාරය නිසා ඒවා වර්ග කිරීම ඉතාම දුෂ්කර කටයුත්තක් විය. බොහෝ පර්සියානු බුමුතුරුණු වල ට ආකෘති වූයේ 15 වන සියවසේ ග්‍රන්ථවල පිටකවර, පදක්කම්, කඩුක්කම් ආදිය ත් ගෘහ නිර්මාණය ආශිත්‍ර අලංකාර හා අරබෙස්ක්යු මෝස්තර හා ආකෘති න් ය. 


පදක්කම් ආකෘතියේ බුමුතුරුණු වලට වයඹ දිග පර්සියාව ප්‍රසිද්ධ විය. එහි විශාල කේන්ද්‍රීය රටාවක් විය. වෙනත් ශාක ආකෘති න් රාශියක් ද විය. ප්‍රධාන පෙළේ යුගවල තිබූ බුමුතුරුණු වලට පොදු වූ වතු තේමාව වර්ධනය වීමට මුල්වුයේ මේ ශෛල්‍ය ය.


තවත් වර්ගයක් නම් ෂා අබ්බාස් නොහොත් මල් බඳුන් පලස් ය. ඒවායේ කඩින් කඩ මල් බඳුන් ගොතා ඇත. මෙම මෝස්තරය මුලින්ම කෙර්මාන් හි හදුන්වා දෙන ලද අතර පසුව ෂා අබ්බාස් විසින් තම මාලිගා සඳහා තෝරා ගන්නා ලදි. 


පොලෝනයිස්  බුමුතුරුණු නමින් හඳුන්වන ඉතාමත් වෙනස් ආකාරයේ බුමුතුරුණු විශේෂයක් ද ෂා අබ්බාස් කාලයේ දි හදුන්වා දෙනු ලැබීය. තදින් හැඟීම් දනවන වර්ණ මේවා සඳහා උපයෝගී කරගන්නා අතර ලෝහ මත කැටයම් කළාක් මෙන් දිස්වෙන මල් බඳුන් සහිත කලාත්මක නව සුන්දරත්වයක් එහි දක්නට ලැබිණි. 


ඉස්ෆහාන් නමින් හඳුන්වනු ලබන තවත් ප්‍රසිද්ධ බුමුතුරුණු විශේෂයක් ඇත. ඒවා යේ හැකිලෙන රේන්ද කලාව, නෙළුම් මල් මෝස්තර හා දෙළුම් වර්ණය යනාදී ය සැලකිය යුතු කරුණු ය. 


හැඩය මෙන්ම තාක්ෂණයෙන් ද පලස් විවීම එකිනෙකා ට වෙනස් වේ. මූලික රටාව දිග අතට වැටුනු නූල් වලින් ද, හරස් වියුමකින් ද යුක්තය. මෙහි මතුපිට දළ රාමුව ඕනෑම අයුරකින් සාවිකරගන්න ට හැකිය. විවිමේ දී  ප්‍රධාන තාක්ෂණ දෙකක් ඇත. එකක් නම් පුරාණ තිරය ආකෘතියෙන් නිම කරනු ලබන සමතලා වූ බිම ඇතිරිල්ල සහ දෙවැන්න බුමුතුරුණු වලට යොදා ගනු ලබන ගැට තාක්ෂණය යි. ගැට ක්‍රමයේ දී විවිධ ගෙතුම් විශේෂයන් තිබේ. දිග වියුම් කෙඳි වටා කුඩා නූල් කැබලි වලින් ගැට සැකසීම එක් ක්‍රමයක් . මෙයින් කෙළවර දෙකම මතුපිට එක හා සමාන ව නෙරා සිටි. 


මෙහිදී තනි නූල් වශයෙන් ද, නූල් දෙක බැගින් ද කෙඳි ගැට ගසනු ලැබේ.ෂෙහ්නා හෙවත් පර්සියානු ගැට ගසා ගත් කල එය වඩාත් ඔපවත් මතුපිටක් ලබා දෙයි. මේවා තුර්කිය ගැට, පර්සියානු ගැට යනාදි නම් වලින් හැඳින්වේ. මෝස්තරය ට අමතර වශයෙන් හොද බුමුතුරුණු වක තත්ත්වය තීරණය කරන්නේ ඒ සඳහා යොදා ගන්නා ද්‍රව්‍යයන් ගේ ගුණත්වය මතය. එම ගුණත්වය සාධක ගණනාවක් මත රදා පවති. 


දිගට හා හරහට යොදන රැලි සහිත හා දික් නූල් සඳහා පට, කපු, ලෝම හා සේද යොදා ගත හැකිය. එහෙත් සේද නූල් ඉතාමත් යෝග්‍ය ය. සේද වර්ග දෙසීයක් පමණ ඇත. 


නූල් වලට පාට යොදන ඩයි වර්ග බුමුතුරුණු නිෂ්පාදන යෙහි අවශ්‍ය කරන තවත් වැදගත් යෙදවුමකී. ශාක වලින් සහ කෘමින් ගෙන් ලබා ගන්නා ස්වාභාවික ඩයි වර්ග පර්සියානුවන් විසින් පමණක් යොදා ගනු ලැබේ. අද වුණත් කෘතිම රසායනික ඩයි වර්ග වලට එතරම් දිරි දීමක් නොකෙරේ. ශත වර්ෂ ගණනාවක් තිස්සේ පර්සියානු බුමුතුරුණු ඒවයේ වර්ණ සහ වර්ණ ගැලපීම අතින් ඉතා ප්‍රසිද්ධ ය. 


" පර්සියාවේ දී ඔබට ඉතා හොද බුමුතුරුණු ලබා ගත හැකිය. ඒවා ලෝකයේ ම හොදම ඒවා වන අතර අගනා අන්දමට වර්ණවත් කොට ඇත. වැස්සෙන්, වයින් වලින් හෝ විනාකිරි වලින් පැල්ලම් නොසිටින අයුරින් ඒවයෙ සංයෝග යොදා ඇත . " යුරෝපීය ජාතික යෙකු වරක් පැවසීය. 



මේ සදහා සීමිත ඩයි සංඛ්‍යාවක් යොදා ගනු ලැබේ.නිල්පාට සදහා සැමවිටම යොදා ගාන්නේ නිල් අවරිය ( Indigo) යි. මදටි වැල් සහ කොච්චි නිල් කෘමීන් ආදියෙන් රතු වර්ණය ද, දෙළුම් පොතු, නවහන්දි පට්ට, මිටි ඕක්, කුංකුම සහ අරංකහ ආදියෙන් කහ වර්ණය ද ලබා ගන්නා ලදී. මීට සෙවනැලි වර්ණ ද යොදා ගැනුණි. මේ සඳහා බැටළු කිරෙන් මදටිය දැඩි ලෙස තම්බා ගන්නා ලදී. 


මෙම මූලික වර්ණය ඩයි සංයෝග කර වෙනත් වර්ණ සාදා ගන්නා ලදී. රසායනික වර්ණක වර්ග වැඩි කලක් තබා ගත නොහැකි නිසා ත් ඒවා ඉතා ඉක්මනින් දුර්වර්ණ වන නිසාත් රසායනික ඩයි වර්ග යෙදීම උනන්දු නොකෙරේ. 


වසර සිය ගණනකට පෙර වියූ ආකාරයට ම හස්ත කර්මාන්ත ලෙස වියන බුමුතුරුණු අද ද ඉරානයේ වියනු ලැබේ. බුමුතුරුණු විවීම අද ද එහි මූලික ගෘහ කර්මාන්තයකි.කෂාන්,නයින්, ඉස්ෆහාන්, කොම්, මෂ්හද්, කොරෝසාන්, යන පළාත් වල හා කුර්දිස්තාන්, හමාදාන්,සංජාන්, යස්ද්, කෙර්මාන්, සිස්ථාන්, බලුචිස්ථාන්, නැගෙනහිර අසර්බයිජාන් යන ස්ථානවල ප්‍රධාන වශයෙන් මෙම කර්මාන්තය සිදු කෙරුන ද පොදුවේ මෙම කර්මාන්තය රට පුරා ම ප්‍රචලිතය. ඍජු ව සහ වක්‍ර ව ලක්ෂ 30 වඩා වැඩි ජනතාවක් මෙම කර්මාන්තයේ නියැලී සිටිති

No comments:

Post a Comment